ලෝකයේ වැඩි වශයෙන්ම නියමිත වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදුකළ ගුවන් සේවය ලෙස 'ශ්‍රීලංකන් ගුවන් සේවය පළමු තැන දිනා ගනිමින්
ලෝක සම්මානයට පාත්‍ර වී තිබේ. ලෝකයේ ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ ආයතනය විසින් 2016 සැප්තැම්බර් මාසය මුල් කරගනිමින් පැවැත්වූ නිරීක්ෂණවලදී ගෝලීය ගුවන් සේවා සහ ප්‍රධාන ගුවන් සේවා කාණ්ඩ යටතේ 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය මෙම ජයග්‍රහණ හිමි කරගෙන තිබේ. මෙම ගුවන් ගමන්

විශ්ලේෂණ ආයතනය යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව, මැද පෙරදිග, දකුණු ඇමෙරිකාව යන කලාපීය ප්‍රදේශවල ක්‍රියාත්මක ලෝකයේ විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා, ගෝලීය ගුවන් සේවා, ප්‍රධාන ගුවන් සේවා, කලාපීය ගුවන් සේවා සහ පිරිමැසුම් ගුවන් සේවා යන කාණ්ඩ යටතේ විශ්ලේෂණය කර තිබේ.

එහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් සේවා කාණ්ඩය යටතේ නිසි වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීම වෙනුවෙන් 91.37%ක විශ්ලේෂණ ලකුණු ප්‍රතිශතයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානයට පත් වී තිබේ. දෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ 86.74ක විශ්ලේෂණය ලකුණු ප්‍රතිශතයක් ලබා ගත් ඇමෙරිකාවේ ඩෙල්ට ගුවන් සේවය වන අතර, තෙවැනි ස්ථානයට විලේෂණ ලකුණු 86.61%ක ප්‍රතිශතයක් ලබාගත් ජපානයේ ANA ගුවන් සේවය හිමි කරගෙන තිබේ. මීට අමතරව ප්‍රධාන ගුවන් සේවා කාණ්ඩය යටතේ එම ආයතනය මඟින් සිදුකළ විශ්ලේෂණවලදීත් 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර දෙවැනි ස්ථානය ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයත්, එහි තුන් වැනි ස්ථානය ජපානයේ ANA ගුවන් සේවයත් දිනා ගෙන තිබේ.

2018 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කළ 'පියාසැරීමට සුදානම්' අඛණ්ඩ කාර්යය සාධන ක්‍රියාවලිය මඟින් ලොව පුරා පාරිභෝගික සේවා වැඩිදියුණු කර ගැනීම මෙම ජයග්‍රහණවලට මුල් වූ බව මෙම ගුවන් සේවා ආයතනික සන්නිවේදන ආංශය පෙන්වා දෙයි.  ශ්‍රීලන්කන් ගුවන් සේවය වන් වර්ල්ඩ්  ගුවන් ගමන් සේවා ජාලය සමඟ එක් වෙමින්, කොළඹ මුල්කර ගනිමින් රටවල් 48ක ගමනාන්ත 114ක් කරා සිය ගුවන් මෙහෙයුම් නියමිත වේලාවට සිදු කරමින් සිටියි.


-ගයා තිරිමාදුර-