මුහුද රළු වී රළ පහර උතුරු කළුතර වෙරළ තීරයේ නිවෙස් ඇතුළටම පැමිණීමට පටන් ගෙන ඇති බව උතුරු කළුතර ප්‍රදේශවාසීන් දන්වා තිබේ.
මේ හේතුවෙන් එහි පදිංචිකරුවන් මහත් අසීරුතාවන්ට පත්ව ඇති බව වාර්තාවේ. මුහුදු රළ කළුතර කැලිඩෝ වෙරළ තීරය බීඳගෙන ගොඩබිමට පැමිණීමත් සමඟ කිලෝමීටරයක් පමණ
දිගින් යුතු ආබෘෘ පාර අඩියක් පමණ උසට මුහුදු වැල්ලෙන් වැසී ගොස් තිබේ.  ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් රැසකට යන මාර්ගය මෙය වන අතර මාර්ගයේ ඇති වැලි කඳු හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය ඇණහිට තිබේ.
ඉකුත් 28 වැනිදා සිට මෙම  තත්ත්වය

හටගෙන ඇති අතර දිනපතා රාත්‍රි 7 හා අලුයම අතර කාලයේදී වඩදිය තත්ත්වය මත මුහුදු රළ නිවෙස් තුළට පැමිණීමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.  මුහුදු ජලය තම නිවෙස්වලට ඒම වැළැක්වීම සඳහා වැලි කොට්ටා දැමීමට එම ප්‍රදේශවාසීහු දිවා කාලයේ වෙහෙස වෙමින් සිටිති. ප්‍රදේශයේ පදිංචි සංචාරක ව්‍යාපාරිකයකු වූ පී.එල්. ජිනසේන මහතා මේ සම්බන්ධයෙන් අපට අදහස් දක්වමින් මෙසේ කීය.
මුහුදු රළ නිවෙස් තුළට පැමිණීම නිසා නිවැසියන් මහත් අසීරුතාවට පත්වී සිටිනවා.
ඉදිරියේදීත් මේ තත්ත්වය ඇති විය හැකියි. වෙරළ ආරක්ෂා කර ගැනීම සඳහා දමා තිබූ ගල් වැටියේ ගල් පවා වතුරට ගසාගෙන ගොස් තිබෙනවා යැයි ඔහු කීය. වෙරළේ සිට මීටර් කීපයක් දුරින් මුහුදේ ස්වාභාවික ගල් පර කීපයක් තිබෙනවා. 'බොකුටුපරය". 'රුවල්කන්න' ඉන් කීපයක්. වෙරළ රකින ගල් වැටි දනවා නම් එම ස්වාභාවික ගල්පර යා වන අයුරින් දැමිය යුතුයි කියල හිතනවා.

 මෙහිදී උතුරු කළුතර 717ඩී බටහිර ගාම නිලධාරී ඩී.ඒ. ජයසුන්දර සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

දිනපතාම රාත්‍රියට මුහුදු රළ සමඟ වැලි එනවා. මෙම වැලී ඉවත් කරන්න දින කීපයක් යාවී. සුනාමියට පෙර වෙරළට තවත් ආසන්නව නිවාස සිය ගණනක් තිබුණා. ඒවා තිබූ බීම මෙවර පොල් ගසුත් එක්කම මුහුදට ගියා

-සුජිත් මාරියෝ-