ශ්‍රී ජයවර්ධනපුර ජපන් මිත්‍රත්ව පාර අසල කිඹුලාවල ජලාශය ආශ්‍රිතව මේ දිනවල සිදුවන සංවර්ධන කටයුත්ත ජලාශය ඉවුරේ සිදු වන ගොඩකිරීමක් දැයි ඇතැමුන් තුළ කුතුහලයක් ඇතිවී තිබේ. එහි සැබෑ වශයෙන්ම
සිදුවන්නේ පෞද්ගලික ආයතනයක ධන පරිත්‍යාගයකින් හා තාක්ෂණික දායකත්වයකින් යුතුව බෞද්ධ විනය කර්ම සඳහා අවශ්‍ය සීමා මාලකයක් ඉදිකිරීමේ කටයුත්තක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය දන්වා ඇත.
මෙම විශේෂ සීමා මාලකය ආරම්භයේදී සැලසුම් කරන ලදුව ඇත්තේ ජලාශය මත පාවෙන ව්‍යුහයක් සේ සකස් කිරීමට වුවත් පසුව තාක්ෂණික සීමාවන් හා බාධාවන් හේතුවෙන් එය සාමාන්‍ය සීමා මාලකයක් ලෙස ජලය තුල සවිකරන ලද කණු මත රැඳවීමට තීරණය කරනු ලැබ ඇති බවද ඔවුන් දන්වා සිටී.
එම කණු සවි කිරීම සඳහා අවශ්‍ය පාදම ජලය යට

ඉදිකිරීම අත්‍යාවශ්‍ය කරුණක් වූ හෙයින් ඒ කටයුත්ත සඳහා විශේෂඥ දැනුම ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහාය ලබා දෙන ලෙස එම ආයතනය ඉල්ලීමක් කොට තිබුණා. මහානගර සැලසුම තුළ ප්‍රමුඛත්වය දරන ආධ්‍යාත්මික සංවර්ධන කටයුත්තක් සේ සලකා සංස්ථාව සහ අමාත්‍යාංශය ඒ සඳහා සහාය ලබා දීමට එකඟ වූ බවද පැවසේ..
ඒ අනුව පාදම ඉදිකිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ අදාළ ස්ථානයට රැගෙන යාම සඳහා ප්‍රවේශ මාර්ගයක් අවශ්‍ය වූ බැවින් එවැන්නක් මේ වන විට තාවකාලික පදනමින් ඉදිකෙරෙමින් පවතී. දැනට ගොඩකිරීමක් සේ පෙනී යන්නේ මෙම තාවකාලික ප්‍රවේශ මාර්ගය සකස් කිරීමේ කටයුත්තයි. සීමාමාලකය සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් කණු සහිත ව්‍යුහය තැනීමෙන් අනතුරුව එම තාවකාලික ප්‍රවේශ මාර්‍ගය ඉවත් කිරීමට නියමිත අතර මෙම කටයුතු ඉදිරි මාසය ඇතුළත නිම කිරීමට සැලසුම් කොට තිබේ.