බදුරලිය ගුරුලුබැද්ද පැණිගල පදිංචිව සිටි පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් පාතාල නායක "මතුගම ශාන්"  ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.  එම සැකකරු සත්තකයේ තිබී පෑනකට සමාන කුඩා ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් මෙන්ම ජංගම දුරකථන තුනක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. බූරූ සුරංග
(40) නමැත්තා මෙලෙස ඝාතනයට ලක්වී තිබිණි. ඉකුත් 07 වැනිදා මතුගම පොලිසියට ලද පැමිණිල්ලක් අනුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

රැකියාව ලෙස විවිධ ප්‍රදේශවලට ගොස් බූරුවා ගැසීමේ නිරත මියගිය

පුද්ගලයා ඉකුත් 06 වැනිදා කුලියට ගත් සුබෝපභෝගී මෝටර් රථයකින් තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ බූරුවා ගැසීම සඳහා තංගල්ලට ගොස් තිබූ බව පොලීසිය කියයි.  එහිදී රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් දිනාගත් බවත් එදින රාත්‍රි නැවත අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ තිබූ බවත් පොලිසිය කියයි.

එහිදී රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් දිනාගත් බවත් එදින රාත්‍රි නැවත අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ තිබූ බවත් පොලිසිය කියයි. මතුගම කටුගහහේන ප්‍රදේශයේ තේ වත්තක් අසලදී මුහුණ බැදලගෙන වෑන් රථයකින් ආ පිරිසක් මෝටර් රථයට මඟ හරස් කර තිදෙනාට පහර දුන් බවත් මෝටර් රථයේ සිටි දෙදෙනකු පොලීසියට පවසා තිබිණි. විනාඩි විස්සකින් පමණ පැමිණ බලද්දී සුරංග බිම වැටී සිටිය බවත් ඔහු කටුගහහේන රෝහලට ගෙන ගිය අවස්ථාවේ භාර නොගත් හෙයින් වෑත්තෑව රෝහලට රැගෙන ගිය බවත් ප්‍රකාශ කර ඇත.  තුවාලලත් දෙදෙනාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී පාතාල නායක මතුගම ශාන් නමැත්තාගේ සමීපතම පුද්ගලයකු දුන් දුරකථන ඇමතුමක් අනුව යටදොළවත්ත, ශාන්ත පීතර ප්‍රදේශයේ සුවිසල් තෙමහල් නිවෙසට ගිය අවස්ථාවේ එහි සැගවී සිටි පාතාල නායක මතුගම ශාන් ඇතුළු පිරිසක් සුරංගට

පහරදුන් බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම තෙමහල් නිවෙසේදී අනතුරුව තමන්ද පහරදී තර්ජනය කරමින් මේ බව කාටවත් නොකියන ලෙසත් පවසමින් කටුගහහේන ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පහරදුන් බවට පොලීසියට ප්‍රකාශ කරන ලෙස තර්ජනය කරමින් මතුගම ශාන් නමැත්තා පැවසු බව තුවාල ලද පුද්ගලයන් පොලිසියට කට උත්තර දෙමින් පැවසූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. මීට මාස තුනකට පමණ පෙරදී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් ඩන්කන් නමැති පාතාල සාමාජිකයකු ඝාතනය සම්බන්ධයන් අත්අඩංගුවට ගත් මතුගම ශාන් නමැත්තාගේ ප්‍රතිවාදියා බැවින් ඩන්කන් බැලීම සදහා ඝාතනයට ලක්වූ සුරංග නමැත්තා සිර ගෙදර යෑම සම්බන්ධයෙන් උරණව මෙම පහරදීම කර ඇති බවට පොලීසිය කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය සුරංග නමැත්තාගේ යටි බඩට පා පහරවල් දී ඇති අතර ඒ හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයට ලේ වහනය වී ඇති බවත් පොලිසිය කියයි.  මෙම පහරදීම සඳහා මතුගම ශාන් නමැති පාතාල නායකයා ඇතුළු පුද්ගලයන් හත්දෙනකු පමණ සම්බන්ධ වී ඇති බව පවසන පොලිසිය සුවිසල් තෙමහල් නිවසේ හිමිකරු වන මෑතකදී කොරියා රටේ සිට පැමිණි පුද්ගලයාද ප්‍රදේශය හැර ගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

-එම්.සී.පෙරේරා-