ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සිය අතිසාර්ථක ‘ස‘ ප්‍රසංගය 2012 වසරේ නවතා දැමුවේ තමාට විවේක අවශ්‍ය බව හා එහි ගුණය  පවත්වාගන්නට අවශ්‍ය බව පවසමිනි. ඒ දිනවල පුවත්පත් වලට ඔහු කියා සිටියේ
තමන්ගේ කටහඩ මහළු වන්නට පටන්ගෙන තිබෙන නිසා බැරිමරගාතේ ගීත ගායනා කරමින් එහි ගුණාත්මක මට්ටම පහත හෙළන්නට කල්පණා නොකරන බවයි.
කෙසේ වෙතත් ගතවූ කාලය තුළ වික්ටර් රත්නායකයන්ගේ ජීවිතයේද විශාල වෙනස්කම් සිදුවූ අතර ඔහු 75 වන වියේදී නැවත විවාහ

දිවියටද පිවිසියේය.කෙසේ වෙතත් ස නමින් ප්‍රසංගයක් නොකළත් වික්ටර්ගේ නව සහායිකාව හෂිනි අමේන්ද්‍රා සමග ඔහු විදෙස් ගීත ප්‍රසංග සඳහා අඛණ්ඩව සහභාගී වූයේය.
මේ වනවිට වාර්තාවන්නේ නැවත ‘ස‘ ආකාරයේ ප්‍රසංගයක් වික්ටර් රත්නායක අරඹන්නට සූදානම් වන බවයි. එය නම් කර ඇත්තේ ‘සරස‘ නමිනි.
‘මං ස ප්‍රසංගය නවත්තපු දා ඉඳල රසික රසිකාවියන් අඛණ්ඩව මගෙන් ඉල්ලීම් කළා. ඒ ඉල්ලීම් අහක දාන්න බැරි නිසා නැවත ප්‍රසංගයකට මං යනවා. මේ ප්‍රසංගය මං නම් කළේ සරස- රත්නමය ගී අමානන්දය නමින්. මෙහි ව්‍යුහය වෙනස්. ස ප්‍රසංගයේදී නොගැයූ මගේ ජනප්‍රිය ප්‍රේම ගීත බෞද්ධ ගීත දේශාභිමාන ගීත වගේම අලුතින් නිර්මාණය වූ ගීතත් ගායනා කරනවා. ලබන මාසේ 11 වනදා මහනුවර පොල්ගොල්ලෙදි එහි පළමු ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මහනුවරින් තමයි මං මගේ සංගීත දිවිය ඇරඹුවේ ඒ නිසා එහෙන් ආරම්භ කරනවා.‘