මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගමන් ගන්නා වායුසමනය කළ බස් රථ හා දුරගමන් සේවා බස් රථ තුළ අධික ශබ්දයෙන් සිදුවන සංගීත වාදන හේතුවෙන් බස් මගීහු අපහසුතාවට පත්ව සිටිති. උදෑසන සිට රාත්‍රිය
දක්වා යාපනය, අනුරාධපුර, මහනුවර හා අනුරාධපුරය - කොළඹ ආදී මාර්ග ඔස්සේ ධාවනය වන මේ බස් රථ තුළ අවිධිමත් අයුරින් විවිධ අන්දමේ ශබ්ද පිටවන වාදනයන් සිදුවන බව මගීහු පවසති.

ගීත වාදනයන්ට අමතරව විවිධ විදෙස් චිත්‍රපට ප්‍රදර්ශනය ද බස් රථවල සිදු කරනු ලබයි.

මෙම පවුල් පිටින් බස් රථවල දුරගමන් යන මගීන් සිය දරුවන් ඉදිරියේ මේ ඇතැම් චිත්‍රපටි නැරඹීමට අපහසු තත්වයක් උදාවන බව ද කියති.මේ තත්වය සම්බන්ධයෙන් බස් රථ රියැදුරන් කොන්දොස්තරවරු මෙන්ම ඇතැම් රථ හිමිකරුවන් දැනුවත් කළ ද ඉන් පලක් නොමැති බව මගිහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් කළ විමසීමේ දී එහි ප්‍රකාශකයකු කියා සිටියේ බස් රථවල ශබ්ද පිටකිරීම සම්බන්ධයෙන් නීති පවතින බවයි. යම් මගී ප්‍රවාහන රථයක් නියමිත ශබ්ද සීමාව ඉක්මවා විවිධ ශබ්ද ප්‍රචාරය කරයි නම් ඒ පිළිබද ලැබෙන පැමිණිලි අනුව අවශ්‍ය නිතිමය පියවර ගැනීමට අධිකාරිය කටයුතු කරන බව ද හෙතෙම සදහන් කළේය.