සෞදි අරාබියේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වෙඩි තබා ඝාතනය කර ඇගේ නිවෙස් හිමියාගේ පුත්‍රයාද වෙඩි තබාගෙන සිය දිවිහානිකරගෙන තිබේ.

පසුගිය සෙනසුරාදා (10) උදෑසන ඔවුන් මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත. මියගොස් ඇත්තේ 38 හැවිරිදි ප්‍රියන්තා ජයසේකර නමැති ගාල්ල කටඹුරාව පදිංචි තිදරු මවකි. එයින් දෙදෙනෙක් පාසල් යන වයසේ පසු වෙති.  ඇයට වෙඩි තැබූ හාමිපුතාගේ පුත්‍රයා 30 හැවිරිදි පුද්ගලයකු බවත්,

ඔහු මානසික රෝගයකින් පෙළුණු අයකු බවට මූලික පරීක්ෂන වලදී  සනාථ වු බවත් සෞදි පොලීසිය එරට මාධ්‍ය වෙත පවසා ඇත. ඇයගේ මෘත දේහය සෞදියේ අල්-රාෂ් රෝහලේ මෝචරියේ තබා තිබේ. සිද්ධිය පිළිබඳ සැලවිමෙන් අනතුරුව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ඊයේ (13) පිටත්ව ගොස් තිබුණි,

අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායම සිද්ධිය වු සැකකරුගේ නිවස පරීක්‍ෂා කර බලා සියලු සාක්ෂි ලබාගෙන ඇති බවත්, ඒ ඔස්සේ ඉදිරි පර්යේෂණ සිදුකරන බව පවසා ඇත.

මෙම කාත්තාව 2017 වසරේ අප්‍රේල් මාසයේ දී ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කිරීම සඳහා සෞදී රාජ්‍යය වෙත පිටත්ව ගොස් ඇත. ඇය මෙවර ගොස් ඇත්තේ දෙවැනි වතාවටය. ඇයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කෙරෙන අතර ඒ පිළිබඳ නීතිමය කටයුතු අවසන් වූ වහාම දේහය දිවයිනට හැකි ඉක්මනින් රැගෙන ඒමට කටයුතු කරන බව රජය දන්වා ඇත.