ඩුබායි හි රැඳී සිටින පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳුරේ මධුෂ්ගේ කොළඹ මත්කුඩු බෙදාහැරීම් ජාලය හෙළිකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (12) සමත්ව ඇත.
වැලිගම සහ මිදිගමදී පෙර්දා (11) අත්අඩංගුවට ගත් මධුෂ්ගේ ගෝලයන්ගේ තොරතුරු මත කෝට්ටේ බැද්දෙගානේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබුණු  ලියකියවිලි ගොන්නකින් ඒ බව හෙළි වී තිබේ.
වැලිගම දී අත්අඩංගුවට ගත් දෙදෙනා  අතර සිටින චින්තක මල්ලී නමැති මධුෂ්ගේ ගෝලයාගේ අනියම් බිරිඳ එම නිවසේ ජීවත්වන බව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය.
 ඇය රාජගිරිය ඔබේසේකරපුර දී 2005 වසරේදී සමයංගේ පාතාල කල්ලියේ

ප්‍රහාරයකින් මියගිය මධුෂ්ගේ හොඳම ගෝලයා වන හර්ෂ යසස්ගේ බිරිඳ බව විමර්ශනවලින් හෙළි වී තිබේ. හර්ෂ යසස් ඝාතනය වීමෙන් අනතුරුව චින්තක මල්ලී නමැත්තා ඇයව සිය අනියම් බිරීඳ ලෙස තබාගෙන ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. චින්තක මලීගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිය අනියම් බිරිඳ ගැන තොරතුරු හෙළි වී ඇති අතර ඒ අනුව බැද්දගානේ පිහිටි ඇගේ නිවස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් වටලා තිබේ. එම නිවසේ තිබී මත්කුඩු සුළු ප්‍රමාණයක් ද සොයාගෙන ඇති අතර මධුෂ් ගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ මධ්‍යස්ථානය ලෙස එම නිවස පවත්වාගෙන ගොස් ඇති බව ද පෙනී ගොස් ඇත.

මධුෂ්ගේ මත් කුඩු කොළඹ නගරයේ බෙදාහරින නියෝජිතයින්ගේ නම් ගම් සහිත තොරතුරු ද ඒ අයට මත්කුඩු බෙදාහැරීමට ලබාදෙන ප්‍රමාණයන් ද ඇතුළත් පොත්පත් කිහිපයක්ම එම වැටලීමේදී විශේෂය කාර්ය බළකා නිලධාරීන් සොයා ගෙන තිබේ. එම පොත්පත්වල මත්කුඩුවලින් මුදල් ලැබිය යුතු පුද්ගලයන්ගේ නම් ද තිබූ බව සඳහන්. ඒ සම්බන්ධයෙන් එම කාත්තාව ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (11) වැලිගම කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් මධුගේ ගෝලයින් අතර වැලිගම ප්‍රාදේශීය සභාවට මෙවර එජාපයෙන් තරග කළ අපේක්ෂකයෙක් ද සිටියේය.

 ලසන්ත වික්‍රමරත්න නමැති ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇත්තේ මැතිවරණයට වියදම් කිරීමට මධුෂ් තමන්ට මුදල් ලබාදුන් බවය. මැතිවරණයට තමන් ඉදිරිපත් වූයේද මධුෂ්ගේ වුවමනාවට බව ද ඔහු සඳහන් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට පියවර ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.