සේවයෙන් ඉවත්ව ගිය අයගේ නමට චෛත්පත් නිකුත් කර පෞද්ගලික ආයතනයකට රුපියල් තුන්කෝටි විසිපන්ලක්ෂ අනූහය දහසකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විධායක
නිලධාරීනියක්

ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

අදාළ සමාගම මර්චන්ට් බෑක් ඔෆ් ශ්‍රී ලංකා සමාගමට වැටුප් හදන සමාගමක් වන අතර වැටුප් හදන අවස්ථාවේදී සේවයෙන් ඉවත්ව ගිය අයගේ නම්වලට චෙක්පත් නිකුත් කර වංචාව සිදුකර ඇති අතර වංචා කළ මුදලින් පනස් හය ලක්ෂ පනස් නවදහසක් පමණ මුදලක් තම ස්වාමිපුරුෂයාගේ ගිණුමට සහ තිස්ඵක්ලක්ෂ හැට අටදහස් හත්සියයකට අධික මුදලක් තම ගිණුමට බැර කරගෙන තිබේ.

චූදිත කාන්තාව විසින් චෙක්පත් 185ක් උපයෝගී කර ගනිමින් මේ වංචාව සිදුකර ඇත. එස්.එස්.පී. නමැති අදාළ සමාගම මඟින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.