බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැද්ද යන්න විමසීම සඳහා පැවැති ජනමත විචාරණයෙන් පරාජයට පත්වූ බ්‍රිතාන්‍යයේ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්‌වූවා. ඒ අනුව අපගේ සම්ප්‍රදායන්ට වඩා සුද්දන්ගේ සම්ප්‍රදායන්ට අනුව කටයුතු කරන අගමැතිවරයා ඉල්ලා අස්‌වීමට කටයුතු කළ යුතු බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පැවැසීය. කුමාරතුංග මහතා ඒ බව පවසා සිටියේ ඊයේ (15 දා) යුතුකම සංවාද කවය සම්බුද්ධත්ව මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ
මහතා මෙසේ ද පැවැසීය.

මේ ආණ්‌ඩුවට විරුද්ධව, පසුගිය මහ මැතිවරණයටත් පෙර "වෙනස සැපද කියල" පළමුවෙන්ම ජනතාව දැනුවත් කළේ අපි. මෙම අවස්‌ථාවේදීත් පසුගිය පළාත් පාලන මැතිවරණය පිළිබඳව අපගේ මතය සඳහන් කිරීම වැදගත් කියල අපි සිතනවා. පසුගිය මැතිවරණයේ අරුත කුමක්‌ද?

2015 ජනාධිපතිවරණයේදී ප්‍රතිපත්තීමය වශයෙන් කිසිදු එකඟතාවයක්‌ නැති ජනතා විමුක්‌ති පෙරමුණ, හෙළ උරුමය, දෙමළ ජාතික සංධානය එක පෙරමුණක්‌ ලෙස කටයුතු කළා. මේ රටේ සම්ප්‍රදායන් අනුව රට පාලනය කරනවා කියලා, 1815 දී ගිවිසුමකින් බලය ලබාගත් ඉංගී්‍රසින් පළමුවෙන්ම කළේ කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ මගින් ගම්සභා ක්‍රමය අහෝසි කරල භූමියේ පාලනය අහෝසි කිරීම. 2015 දී බලයට ආපු මේ ආණ්‌ඩුවත් කළේ තම පාලනය කළ පළාත් පාලන ආයතන අහෝසි කරල දැමීම. පසුගිය පෙබරවාරි 10 වන දින පැවැති මැතිවරණයේදී ජනතාව යළිත් ගමට පාලනයක්‌ තෝරගෙන තිබෙනවා.


වසර 3 කට පසුව තමයි මේ ආකාරයට ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්‌ථාව ලැබුණේ. ඇත්ත වශයෙන්ම පසුගිය මැතිවරණය ජනමත විචාරණයක්‌. එහි දී ජනතාව වසර 3 කට පෙර පැවැති ආණ්‌ඩුව සහ පසුව තිබෙන ආණ්‌ඩුව පිළිබඳව තීන්දුවක්‌ දී තිබෙනවා. සංස්‌කෘතිය සභ්‍යත්වය විනාශ කිරීම, හම්බන්තොට වරාය විකිණීම, බැඳුම්කර වංචාව නිසා කොටි සංවිධානය මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් පසුත් ඇති නොවූ ආර්ථික අර්බුදයක්‌ ඇතිවීම, ඉන්දියාවේ ශ්‍රම වෙළෙඳ පොළට මෙරට දොර අරින එට්‌කා ගිවිසුම ගෙන ඒම රට බෙදෙන ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට කටයුතු කිරීම, ජීවිත පුද කළ රණවිරුවන්ගේ අභිමානය කෙළෙසීම සහ ඔවුන් අනතුරේ හෙළීමට එරෙහිව ජනතාව මෙම ජනමතය ප්‍රකාශ කර තිබෙනවා. ජනතාව වසර 3 කට පෙර පැවැති ආණ්‌ඩුව සහ දැන් පවතින ආණ්‌ඩුව සංසන්දනය කරල තීරණය කරල තිබෙනවා වසර 3 කට පෙර පැවැති ආණ්‌ඩුව හොඳයි කියන එක.

මේ ආණ්‌ඩුව මේ රටේ ජාතිකත්වයට හිනාවුණා. නිග්‍රහ කළා. රටකට ජාතික ගී දෙකක්‌ තිබෙන්න බෑ. දන්නෝ බුදුන්ගේ ගීතය විකෘති කළා. වසර 2000 කට පෙර දුටුගැමුණු රජු සහ දස මහා යෝධයන් ඇතුළු පිරිස එළාරව පරාජය කළා. ඒ වගේ ජයග්‍රහනයක්‌ තමයි කොටි සංවිධානය පරාජය කරල ලැබුවේ. හිට්‌ලර්, පොල්පොට්‌ වැනි පාලකයන් පරාජය කිරීම කළු පැල්ලමක්‌ ඉවත් කිරීමක්‌ හා සලකනවා. ඒවා සමරනවා. ඒ වගේම මිලේච්ඡ ප්‍රභාකරන් පරාජය කිරීමත් සැමරිය යුතු දෙයක්‌. නමුත් බෙදුම්වාදීන් නිසා එම ජයග්‍රහණය සැමරුවේ නෑ.

ජනතාව ඊට එරෙහිව නැගී සිට තිබෙනවා.

එදා ධර්මපාලතුමා කළු සුද්දන්ගේ සංස්‌කෘතියක්‌ ඇති වීමට එරෙහිව කටයුතු කළා. ඒ වගේම 1948 දීත් එම කටයුත්ත සිද්ධ නොවුණ නිසා තමයි 1956 දී දේශපාලන පෙරළියක්‌ සිද්ධ වුණේ. ජනතාව ඒ ආකාරයෙන් කටයුතු කළේ අපේ ආණ්‌ඩුවක්‌ හදාගැනීම සඳහා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයනුත් ඒ පිළිබඳව සිතිය යුතු වනවා. එය තමන්ගේ අරමුණ කරගත යුතු වනවා.

ඒ වගේම මේ ආණ්‌ඩුවේ නායකයන් මෙම ජයග්‍රහනය පිළිබඳව විවිධ අර්ථකථන ලබාදීමට සූදානම් වනවා. ඔවුන් දැන් කියනවා පැවැති මැතිවරණය ගමට නියෝජිතයකු තේරිමේ මැතිවරණයක්‌ පමණයි කියලා. නමුත් ඔවුන් මැතිවරණ සඳහා පුවත්පත්වල පළ කළ දැන්වීම්වලින් පමණක්‌ වුවත් පෙනෙනවා ඔවුන් ජාතික නායකත්වයක්‌ පිළිබඳව කතා කළ බව. ජනතා විමුක්‌ති පෙරමුණ මෙම මැතිවරණය හැඳින් වූයේ වෙනසක ඇරැඹුම කියලා. එහෙම නම් මෙම ප්‍රතිඵලය දැන් පිළිගන්න කියල අපි ඒ අයට කියනවා.

අගමැතිතුමා අපේ සම්ප්‍රදායන්ට අනුව කටයුතු කරන්නේ නැහැ කියලා අපි දන්නවා. නමුත් සුද්දගේ සම්ප්‍රදායන්ට අනුව කටයුතු කරන බව අපි දන්නවා. අගමැතිතුමාට බ්‍රිතාන්‍යය රන් දෙවොල වගේ තමයි. එරට අගමැතිවරයා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පැවැති ජනමත විචාරණයෙන් පරාජය වූවා. එම නිසා එරට අගමැතිතුමා පසුදාම ඉල්ලා අස්‌වූවා. අපේ සම්ප්‍රදායන්ට කටයුතු කිරීමට බැරිනම් එම සම්ප්‍රදායට හෝ කටයුතු කර ඉල්ලා අස්‌වෙන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව ලබාදී තිබෙන පණිවුඩයට සියලු දෙනාම කන්දිය යුතුව තිබෙනවා. ජනතාව අලුත් ගමනක්‌ යාමට සූදානමින් සිටිනවා. වගකිවයුතු සියලු දෙනාම එම පණිවුඩයට කන්දිය යුතු වනවා. අපගේ සංස්‌කෘතිය, සභ්‍යත්වය ආරක්‍ෂා කර ගනිමින් නව ලෝකයට ගැලපෙන, පීඩාකාරී නොවූ රාජ්‍යයක්‌ ගොඩ නඟා ගැනීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය