හෘදයාබාධයකින් අපවත්වූ බවට දැන්වූ
බෙල්ලන්විල හිමිගේ මරණ පරීක්ෂණය
සිදුකළ ආකාරය ගැන සැකයක්


පසුගියදා අපවත්වී වදාළ පූජ්‍ය  බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අපවත්වුවද ඒ පිළිබඳ මරණ පරික්ෂණය කොළඹ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ නොපවත්වා බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකාව විසින් සිදුකිරිම සැකයට හා ගැටලුවට භාජනයවී තිබේ.
එයට එරෙහිව කොළඹ නාගරික හදිසිමරණ පරික්ෂිකා නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය
පොලිස්පතිවරයා වෙත

පෙරේදා (19)පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඇය මේ සම්බන්ධයෙන් මීට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාටත් පැමිණිලි කර තිබෙන බවද වාර්තා විය.

බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් අපවත් වූ නාරාහේන්පිට රෝහල කොළඹ නාගරික බලසීමාවට අයත් නිසා මරණ පරික්ෂණය බොරලැස්ගමුවේ සිදුකිරීම නීති විරෝධි බවත් එය සිදු කරන්නට එපා යයි බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකවරියටත්, බොරලැස්ගමුව සහ නාරාහේන්පිට පොලිස් ස්ථානධිපතිවරුන්ට දැනුම් දී තිබියදී කිසියම් අයෙකුගේ බලපෑම මත පරීක්ෂණය බොරලැස්ගමුවෙන් සිදු කර මරණය පිළිබඳ තීන්දුව ලබාදී ඇති බවද වාර්තා විය.

ඇය මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුවන්නට පෙර එය සැලවී ඊට ඉඩ නොදෙන ලෙසත්, එසේ කළහොත් එය නිති විරෝධී ක්‍රියාවක් සිදුවන බවත් දැනුම් දිමට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා දුන්නත් ප්‍රතිචාර දක්වා නැත.
පොලිස් ස්ථානාධිපතිවරුන් ද ඇගේ දැනුම් දීම අනුව ක්‍රියා කළේ නැති නිසා ඒ ගැන පැමිණිලි කිරීමට අධිකරණ කොමිසන් සභාවටත්, කොළඹ ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරයාටත් පොලිස්පතිවරයාටත් ලිඛිතව දැනුම් දී තිබේ.
බොරලැස්ගමුවේ සිදු කළ පරීක්ෂණය අනුව හිමියන්ගේ අපවත්වීම හෘදයාබාධයකින් සිදුවූ බවට නිගමනය වී තිබුණි.