බංග්ලාදේශයේ විපක්‍ෂ නායිකා සහ එරට හිටපු අගමැතිනි ඛලීඩා ෂියාට වසර පහක සිරදඬුවම් අද නියම කරන ලදි. ඇය අගමැතිනි ධූරයේ සිටි කාලයේ ළමා නිවාසයක භාරකාර අරමුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට
වරදකරුවීමෙන් මෙම දඩුවම ලැබිණි.


අධිකරණ තීන්දුවෙන් නොසන්සුන්තාවට පත් ඛලීඩා ෂියාගේ ආධාරකරුවන් ඩකා නගරයේ දී පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1991 සහ 2001 බංග්ලාදේශ අගමැති ධූරයට දෙවරක් පත්වූ ඛලිඩා ෂියා ඝාතනයට ලක්වූ එරට හිටපු අගමැති සියුර් රහමන්ගේ බිරියයි. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස කලක් ලෝක ප්‍රසාදයට බඳුන්වූ අතර බීඑන්පී පක්ෂයට වසර 20 කට පසු ජයග්‍රහණයක් අත්කරදුන් නිසා දේශපාලන පෙරළිකාර චරිතයක් ලෙසද නමක් දිනා සිටියාය. 2006 අගමැති ධූරය අහිමි වුවද දේශපාලනයෙන් සමු නොගත් ඇය මේ කාලයේ බංග්ලාදේශයේ විපක්ෂ නායිකාව වශයෙන් කටයුතු කරමින් සිටි අතර ලබන වසරේ පැවැත්වෙන මහමැතිවරණයට අගමැති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත්වන්නට සූදානමින් සිටියාය. 72 හැවිරිදි ඛලිඩා ෂියාට මෙම සිරගතවීම සමග අගමැති අපේකෂක සිහිනය බොඳවී යනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.