පුද්ගලයින් 71 දෙනෙකුට මරු කැඳවමින් මොස්කව් නුවරදී අනතුරට පත් රුසියානු ගුවන්යානා අනතුරට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස එරට ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝග කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය අනතුරට පත්වීමට හේතුව මෙතෙක්  හෙළි වී නොමැති බවයි.

යානය කඩා වැටෙන විට එය ගිනිගෙන දැවෙමින් තිබූ බවට සිද්ධිය ඇසින් දුටුවකු ප්‍රකාශ කළ බවට ද වාර්තා වී ඇත.

විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ, හිම සහිත ප්‍රදේශයකට කඩා වැටී ඇති යානයේ සුන්බුන් සහ මියගිය අයගේ සිරුරු කොටස් විශාල ප්‍රදේශයක පැතිර ඇති බවයි.
ගුවන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුරට පෙර පාලක මධ්‍යස්ථානයට යානයෙන් කිසිදු හදිසි ඇමතුමක් හෝ ලැබී නොමැති බවයි.
මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කිරීමට DNA පරීක්ෂණ පැවැත්වීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
රුසියාවේ ඕස්ක් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 65 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇත.
කෙසේ වෙතත් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත…