‘ඇරඹුමම කඳුලක් වෙලා‘ - ගී රස විමසුම

 නූතන පරපුරේ ප්‍රතිභාන්විත ගායන ශිල්පී කසුන් කල්හාර ජයවර්ධන ගයන ‘ඇරඹුමම කවියක් වෙලා‘ ගීතය මෑත කාලයේ පෙම්වතුන්ට හදවතට දැනුණ සුන්දර ගීත අතුරින් එකක්. කවුරුත් දන්නා කසුන්ගේ මෑණියන් වන ගායන ශිල්පිණී විශාරද මාලනී බුලත්සිංහල අකාලයේ සමුගෙන යාමෙන් අනතුරුව කසුන් ගැන බොහෝ අය කථාවෙන වකවානුවක මෙම ගීය ජනප්‍රිය වෙද්දී මේ ගීතය තුළ කියන ‘අවසානයට පෙර ඈ ගියා..‘ වැකිය නිසා කසුන් කල්හාරගෙන් ඇතැමුන් අසා තිබෙන්නේ මේ ගීතය ගැයුවේ සමුගත් මව වෙනුවෙන්ද යන්නයි.

ඔහු එම අදහස අසන හැමවිටම ප්‍රතික්ෂේප කර තිබුණා. මේ ගීතය එවන් අදහසකින් ලියූවක් නොවන බව මෙහි පද රචකයා වන දිලීප අබේසේකරයන් පවසා තිබෙනවා. නැසීගිය ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ පුතණුවන් වන දිලීප වෙළෙඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අතර ඔහු අතින් ගීත රචනාවන් ලියැවී ඇත්තේ කිහිපයක් පමණයි.

මෙම ගීතය ඔහුගේම පුද්ගලික අත්දැකීමක් අළලා ලියුවුණක් නොවන නමුත් ඔහුට මුණගැසෙන මේ කාලයේ තරුණ පරම්පරාවේ අසම්පූර්ණ පෙම් කතා ඇසුරු කොට රචනා කළ බව ඔහු වරක් පවසා තිබෙනවා.

‘මේ සිංදුවට මහා විශාල නිමිත්තක්‌ නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක්‌ දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක්‌ නැති ප්‍රේමයක්‌ විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ. ‘ ඒ ඔහු මේ ගිතය ගැන හඳුන්වාදුන් හැටිය. ආරම්භයම දුක සහිත මේ පෙම් කතා නිමවන්නටත් පෙර පෙම්වතිය හෝ පෙම්වතා අහිමිවීමෙන් කෙළවර වෙයි. ඇතැම් විට අමාරුවෙන් හෝ අයෙක් ගැටගසාගන්නා ප්‍රේමය ප්‍රහේලිකා ලෙස අවසන් වෙයි. බොහෝ විට මේ සියලු පෙම් කතා යව්වනෝදය තුළ ශෝකාන්තයන් ලෙස මිලින වෙන ඒවාය. ඒ ගැන ගීතයේ ලියැවෙන්නේ මෙසේය.
ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...මෙම ගීතය දිලීප රචනා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි වැඩසටහනකටයි. තනුව සදන නාලක අංජන කුමාර හා ගායනය කළ කසුන් කල්හාර එම වැඩසටහනේ නිෂ්පාදක ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා විසින් වෙන වෙනම තෝරාගෙන ගීතයේ ඉතිරි වැඩ භාරදීම නිසා ගීතය එළිදකිනතුරු මේ තිදෙනා එකට මුණගැසී නැහැ. මේ හේතුව නිසාම ඇතැම් තැනක කසුන් වචන වැරැද්දූ බවද දිලීප කියයි.

‘ආ දුරත් දුර වැඩි නිසා‘ යයි කසුන් කියන තැන දිලීප ලියාදී තිබුනේ "ආ දුරත් දුර නැති නිසා“ යනුවෙන් නමුත් ඒ වෙනසින් අර්ථයට බාධාවක් නොවුණ බවත් ඔහු පවසා ඇත. නූතන යව්වනයන්ගේ අසම්පූර්ණ ආදරය ගැන ලියැවුණ මෙම ගීතය සරසවි තුළද අතිශය ප්‍රකට විය. ඇතැම් කුරුටු ගීත වලට මෙහි පදවැල්ද උකහාගෙන තිබුණි. ඒ අලංකාර ගීතය කසුන් ගයන්නේ මෙසේය.