අප්‍රිකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ ජනපති පුටුවට එරට පාපන්දු තාරකාවක් වන  ජොර්ජ් වියා තේරී පත්ව තිබේ. ඊයේ පිටවුණ දෙවන වටයේ ප්‍රතිඵලය අනුව ඔහු සියයට 61.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන් සිටියේය.
ඔහුට ප්‍රතිවාදීව තරග කර තිබුනේ උප ජනාධිපති ජෝසප් බොකායිය.

නෙල්සන් මැන්ඩෙලා විසින් ජොර්ජ් වියා “pride of Africa” යනුවෙන් අභිමානයෙන් හඳුන්වනු ලැබුවෙකි. ඔහු අප්‍රිකානු රාජ්‍යයකින් බිහිවූ එකම සුපිරි පාපන්දු තරුවයි. ඔහු 1990 දශකයේ සිය කුසලතා පෙන්වීමෙන් පසු එංගලන්තයේ මැන්චෙස්ටර් පිලටද පසුව ජර්මන් කණ්ඩායමකටද බැඳී පාපන්දු පිටිය සැරසූ අයෙකි.

ජොර්ජ් වියාගේ ජීවිත කතාව උත්සාහයෙන් මතුවූ වීරයින් ගැන පළවන පොත්පත්වලට නිතර විෂයවූවකි.
ලයිබීරියාව යනු දවසකට ශ්‍රී ලංකා රුපියල් 200 ක වත් සාමාන්‍ය ආදායමක් නැති පුරවැසියන් වාසය කරන අන්ත දුගී රාජ්‍යයකි. 1989-2003 අතර වසර 14 ක සිවිල් යුද්ධ දෙකක සහ එබෝලා වෛරසය නිසා පීඩාවට පත්ව ලක්ෂ ගණන් මියගිය රාජ්‍යයකි. 1944 න් පසු ඒ රටට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලහුවමාරුවක් සිදුව නැත.
ක්‍රීඩාව නිසා රටේ ඉහළ නමක් දිනූ නමුත් ජොර්ජ් වියා ට ජනපති පුටුවට එන්නට පහසු වූයේ නැත. ඔහු 2005 හා 2011 වසර වලද තරග කළ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී බලහවමාරුවන් වෙනුවට දූෂිත මැතිවරණ පැවති නිසා ඔහුට පසුබසින්නට සිදුව තිබුණි. කෙසේ වෙතත් ඔහු මෙවර ජයග්‍රහණය කර තිබේ. ජොර්ජ් වියාගේ ජයග්‍රහණය නිසා එරට ඔහුගේ අනුගාමිකයින් නගරයේ වීදි වෙත රැස්ව ප්‍රීති ඝෝෂා පවත්වන බවද විදෙස් වාර්තා සඳහන් කර තිබේ.