ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු හා ෆේස් බුක් ආරම්භක යුගයේ එහි හිටපු විධායක නිලධාරියෙකු වන ඇමරිකාවේ වසන චමත් පළිහපිටිය දැක්වූ අදහසක් නිසා ෆේස් බුක් සමාගම විවේචනාත්මක ප්‍රතිචාර දැක්වූ සිදුවීමක් වාර්තාවේ.
මේවනවිට ෆේස් බුක් වෙතින් ඉවත්වී ඊට තරගකරන වෙනත් වෙබ් අඩවි හා තමන්ගේම ව්‍යාපාර වලට සම්බන්ධවී සිටින චමත් තාක්ෂණ විද්‍යාඥයෙකු වශයෙන් විශාල පිළිගැනීමක් ඇති ව්‍යවසායකයෙකි. ඔහු පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් සමාජ මාධ්‍ය ජාල සහ ඒ හා සමාන සේවාවන් "සමාජය

කැබලිවලට ඉරා දමන" බවට  කළ ප්‍රකාශය මේ වනවිට ආන්දෝලනයක් ඇති කර තිබේ.
"අපි සමාජය කැබලිවලට ඉරා දමන මෙවලම් නිර්මාණය කර තිබෙනවා.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය, සමාජය කොටස්වලට ඉරා දමනවා.ඔබව ආකෘතියකට හිරකෙරෙමින් පවතිනවා,බිලියන දෙකක පිරිසක් සමාගමට ආකර්ශනය කරගැනීමට කටයුතු කිරීම අතිවිශාල වරදක්"
යනුවෙන් ඔහු කියා ඇත්තේ නොවැම්බර් 10 වෙනි දින 'ස්ටැන්ෆොර්ඩ් ග්‍රැජුවෙට් ස්කූල් ඔෆ් බිස්නස්' හිදී (Stanford Graduate School of Business) පැවති වැඩසටහනකදීය.

 ෆේස්බුක් සමාගමේ පළමු සභාපති ෂෝන් පාකර් (Sean Parker) ද, මෑතකදී ෆේස්බුක් සමාජ භූමිකාවේ ඉතිහාසය පිළිබඳව කනගාටුව පළ කරමින් අදහස් දක්වා තිබූ අතර
නිරන්තරයෙන්ම ෆේස් බුක් ගැන ලොව පුරා විවේචන පැවතියත් තම පැරණි ප්‍රධානීන් මේ ආකාරයට ඒ ගැන අදහස් දැක්වීම ෆේස් බුක් ආයතනයට කලබලයට හේතුවී ඇත.
තම ආයතනය ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්ව ඇති වත්මන් ප්‍රධානියෙකු චමත්ගේ අදහස ගැන පිලිතුරු දෙමින් පවසා ඇත්තේ චමත් පළිහපිටිය වසර හයකට වඩා තම සමාගමේ සේවය නොකළ බවය.

"චමත් සේවය කරනවිට අප ෆේස්බුක් ලොව පුරා ප්‍රවර්ධනය කිරීමේ සහ නව සමාජ මාධ්‍ය අත්දැකීමක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළා. එවිට ෆේස්බුක් බොහෝ වෙනස් සමාගමක්. කාලයත් සමග වූ වර්ධනයවීම අනුව අපගේ වගකීම් වර්ධනය විය යුතු ආකාරයත් අපට වැටහුනා,අපි, අපේ භූමිකාව ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගන්නවා සහ එය වර්ධනය කිරීමට උත්සාහයෙන් කටයුතු කරනවා," යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්වේ.
ෆේස් බුක් සම්බන්ධ කොතෙකුත් විවේචන පළවුවත් එම ආයතනය මේ ආකාරයට ප්‍රතිචාර දක්වන්නේ නැති බවත් චමත්ට ප්‍රතිචාර දැක්වීම තුළ ඔහුගේ විවේචනය ඔවුන් බරපතල ලෙස සලකා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.