ඔස්ටින් අයියා'' යන නම කියූ සැණින් බොහෝ දෙනාගේ සිහියට නැගෙනු  ඇත්තේ මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක චරිතයක්. එම චරිතය ඇතුළත් වෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ. ටෙලි නාට්‍යය තුළ නිතර පෙනී නොසිටියත්, ලැබෙන සෑම අවස්ථාවකදීම පාහේ ප්‍රේක්ෂකයන්ට මතක හිටින යමක් ඉතිරි කිරීම නිසාවෙන් ඔස්ටින් අයියා ගේ චරිතයට අද වෙද්දී බොහෝ ප්‍රේක්ෂකයන් ඇළුම් කරනවා. අපට ඔස්ටින් අයියා
ගැන මෙබඳු සටහනක් තබන්නට සිදුවූයේ එම චරිතය පිටුපස සිටි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා මීට දින කිහිපයකට පෙර හදිසියේ මෙලොවින් සමුගත් නිසායි. කූඹියෝ මෙන්ම 'ගිනි අවි සහ ගිනිකෙළි', 'ඇඩ්‍රස් නෑ' ආදි කලා නිර්මාණවලින්ද ඔහු ප්‍රකට කළ ප්‍රතිභාව ප්‍රේක්ෂක ජනතාවට අමතක නැතුවාට සැකයක් නැහැ. ඔහු ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනී. ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය සැපයූ ඔහු, වේදිකා නාට්‍යයක් රංගගත කිරීම සඳහා විදෙස් ගතව සිටියදීයි මෙලොව හැර ගියේ. සේනක, ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් සොහොයුරායි. සිය සොහොයුරාගේ හදිසි වියෝවෙන් පසු ජැක්සන්  ඔහු ගැන මතකය දිග හැරියේ මේ අයුරින්.


සේනක ටයිටස් කියන කලාකරුවා ගැන කතාබහ කරන්න සුදුසුම පුද්ගලයා තමයි ඔබ. මොකද, කලාවේදී වගේම පෞද්ගලික ජීවිතයේදීත් ඔබ තමයි ඔහුව ළඟින්ම ඇසුරු කළේ?
ඔව්, අපේ පවු‍ලේ සහෝදරයෝ පස්දෙනයි. වැඩිමලා තමයි අයියා. මම පවු‍ලේ දෙවැනියා. අපි දෙන්නා අතරේ වයස් පරතරය අවුරුදු එකහමාරක් දෙකක් විතර ඇති. ළමා කාලයේදී සහෝදරයෝ වගේම යාළුවෝ විදියට තමයි අපි දෙන්නා එකට හැදුණේ වැඩුණේ.

ඔබට සොහොයුරා ගැන අමතක කරන්න බැරි ළමා වියේ මතකයන් ඇති?
ළමා කාලය ගැන සිහිපත් කරද්දී මට අයියා ගැන එක්වරම සිහියට එන එක්තරා සිදුවීමක් තියෙනවා. ‍පොඩි කා‍ලේ අපි ජීවත් වුණේ පේරාදෙණියේ කුලී නිවසක. අපේ අම්මාට තුන්වැනි දරුවා ලැබෙන්න සිටියදී මාවයි අයියවයි අල්ලපු ගෙදර නවත්තලා අම්මයි තාත්තයි මහගෙදර ගියා. අපිට ඒ කා‍ලේ හරිම දුකයි. වෙනදාට හැමදාම කඩල කන්න කියලා ගෙදරින් ලැබුණු සත පහත් ඒ දවස්වල අපට නැතිව ගියා. දවසක් අපි දෙන්නා බඩගින්නට කඩල ටිකක් හොරකම් කරන්න හිතුවා. මම තමයි ඒ හොරකම කරන්න ඉදිරිපත් වුණේ. නමුත්, ඒ හොරකම කරද්දී මාව අහුවුණා. අපිව ‍පොලීසියට අල්ලලා දෙනවා කියලා මිනිස්සු අපව බය කරද්දී අයියා තමන් පන්තියේ පළමුවැනියා බව සටහන් වෙලා තිබුණු රි‍පෝට් කාඩ් එක පෙන්නලා අනුකම්පාව දිනාගෙන මාව බේරගත්තා.

සේනක සහ ජැක්සන් (ඉදිරිපස වාඩිවී) සිය සොහොයුරන් සමග කලකට ඉහත දී ගත් ඡායාරූපයක්

ඔබ දෙදෙනා කලා කටයුතු පටන් ගත්තෙත් එකටමයි?
ඔව්, රාගම ‍පොඩිවී කුඹුරේ පදිංචියට ආවාට පස්සේ අපි දෙන්නා වේදිකා නාට්‍ය පෙන්වන්න පටන් ගත්තා. අපේ තාත්තා ඒකට අපිට වේදිකාවකුත් හදලා දීලා තිබුණා. 1977 අවුරුද්දේ අපි දෙන්නා නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන් යන මිනිස්සු වේදිකා නාට්‍යයේ රඟපෑවා. අයියා තමයි එහි ප්‍රධාන චරිතය රඟපෑවේ. මම කළේ සුළු චරිතයක්. ඒ නාට්‍යය සම්මාන හතක් දිනා ගනිද්දී ඒ අතරින් එකක් ලැබුණේ අයියාට.

ඒ අතරතුර ඔහු පුවත්පත් කලාවේදියෙකු ලෙසත් නමක් දිනාගන්නවා
මම විශ්ව විද්‍යාලයට යන කා‍ලේ වෙනකොට අයියා මල්ටිපැක්ස් පුවත්පත් ආයතනයේ සේවයට බැඳුණා. පුවත්පත් කලාවේදීයෙක් විදිහටත් ඔහු බොහෝ අයට උදව් උපකාර කළා. ජයන්ත චන්ද්‍රසිරිගේ පවා පළමු පුවත්පත් ලිපිය කරන්න අයියා තමයි ඔහුව ආතර් යූ. අමරසේන මහතාට හඳුන්වා දුන්නේ. මම ඇඳපු මුල්ම චිත්‍ර කතාවට කතාව ලිව්වෙත් අයියා. මේවගේ අපි හැමෝගෙම ජීවිතවල සේනක ටයිටස් කියන චරිතය හිටියා.


ඔබ දෙදෙනා එකට රඟපෑ නිර්මාණ අතරේ ප්‍රේක්ෂකයන්ගේ තදින් මතකයේ රැඳුණු විදිහේ ඒවාත් තියෙනවා නේද?
ඔව්, වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණෙනි කියන ගීතය ඇතුළත් වෙන්නේ මෙතනින් මාරුවෙනු කියන වේදිකා නාට්‍යයේ. ඒ ගීතය අදටත් හිටි ගමන් රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි එම දර්ශනයේ මා සමග රඟපාන්නේ මගේ අයියා කියලා හුඟක් අය දන්නේ නැහැ. ඔහු තමයි එහි පැබ්ලෝ ගේ චරිතය නිරූපණය කළේ.

ඔබේ නිර්මාණවලට ඔහු ඉතා කැමැත්තෙන් දායක වුණා නේද?
ඔව්, ජුලියට්ගේ භූමිකාවෙන් පටන් ගත්තාම, අබා, ඇඩ්‍රස් නෑ, සී රජ ආදිය ඇතුළුව මගේ හැම නිර්මාණයකට පාහේ අයියා රංගනයෙන් දායක වුණා.

දශක ගණනාවක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටි ප්‍රතිභාපූර්ණ නළුවකු වූ ඔහුට කලා ජීවිතයේදී සිය හැකියාවන් එළිදැක්වීමට ලැබුණු අවස්ථාවන් ගැන ඔබට මොනවාද හිතෙන්නේ?
ඔහු හොඳ කටහඬක් තිබුණු, ඉතා දක්ෂ චරිතාංග නළුවෙක්, නමුත් අපේ රටේ එවැනි චරිතාංග නළුවන්ට නිසි තැනක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දන්නා කියන නිර්මාණකරුවන්ගේ කලා නිර්මාණවලට පමණයි ඔහුට දායක වෙන්න ලැබුණේ. කූඹියෝ ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතය නිසා ඔහු ගැන ලොකු අවධානයක් ඇති වෙමින් තිබුණා. ඉදිරියේදී එහි ඔහුගේ චරිතය තවත් ප්‍රබල ලෙස ඉස්මතු වේවි. සාමාන්‍ය ප්‍රේක්ෂකයා තුළ ඔහු ගැන කතාබහක් ඇති වෙමින් තිබියදී තමයි ඔහු වියෝ වුණේ. ඇත්තටම ඔහු ජීවත්ව සිටිය යුතුව තිබුණු කාලයේ තමයි ඔහුට මෙලොව හැරයාමට සිදුවුණේ.

කිෂාන් කනංකෙ