පරම්පරාගත උරුමයෙන් කලාවට පිවිසි ඇය කලාවේ ඉසව් රැසක දස්කම් පෑ කලාකාරියකි. ගායිකාවක සේම නිවේදිකාවක් ලෙසත් සිය කුසලතා පළකළ මෙම කලා ශිල්පිනිය අභිෂේකා විමලවීරයි. මෙවර රැජිණ තුළින් අප අභිෂේකාව ඔබ වෙත කැඳවාගෙන එන්නට සිතුවේ මේ දිනවල “සිරස ටීවී” ඔස්සේ විකාශය වන “ජූනියර්
සුපර් ස්ටාර්” තුළින් අභිෂේකා විනිසුරුවරියක ලෙස ඉදිරිපත් කරන නවතම භූමිකාව අද වනවිට බොහෝ අයගේ කතාබහට ලක්ව ඇති නිසාමය.

අභිෂේකාට කලාව හිමිවුණේ උපතින්.. ඔබ පරම්පරා උරුමයෙන් කලාවට පිවිසි කලාකාරියක් ...
මගේ තාත්තා සුනිල් විමලවීර ගීත රචකයෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. , ලොකු තාත්තා සරත් විමලවීර ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක් . අම්මා දමයන්ති විමලවීර ගායනයට නාවත් හොඳ ගායන කුසලතාවක් තිබූ කෙනෙක්. කලා පසුබිම අපේ පවුල තුළ තිබුණා. මම කලාවට යොමුවන්නට එයත් බලපාන්නට ඇති.


අභිෂේකා කලාවට පිවිසුණේ බාලවියේදීම නේද.. ?
මම මුලින්ම ගීතයක් ගායනා කළේ  “ සංජානා” චිත්‍රපටයේ. එතකොට මට වයස 10 ක් විතර ඇති. ඒ වගේම මම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ළමා නිවේදිකාවක් වුණෙත් ගුවන් විදුලිය තුළින් ළමා ගායිකාවක් වුණෙත් එම වයසේදීම තමයි. මම සංගීතයෙන් ඉදිරියට යා යුත්තේ ඒ ගැන හැදෑරීමක් සමග බවයි මගේ මව්පියන්ගේ තීරණය වුණේ. වයස 10 දීම මම සනත් නන්දසිරි සර් යටතේ සංගීතය හදාරන්න පටන්ගත්තේ ඒ හින්දා.

මේ වනවිට ඔබ දායක වී ඇති නිර්මාණ ගැන කතාකළොත් .. ?
ටෙලි නාට්‍යය 7 ක සහ චිත්‍රපට 8 ක පසුබිම් ගායනයට එක් වී සිටිනවා. ඊට අමතරව මගේ ගී සහ රූප රචනා තියෙනවා.

නිරන්තරයෙන් ටීවී එකෙන් දකින කාර්යබහුල කලාකරුවන් සිටිනවා.. ඒත් අභිෂේකා මාධ්‍ය තුළ නිතර හමුවන කාර්යබහුල කලාකාරියක් ‍නෙවෙයි ?
ඇත්ත . මම අන්තිමට ගීතයක් කළේ මීට වසර දෙකකට කළින් . ඒ “රිදි රිදී” ගීිතය.  අලුත් ගීතයක් සහ රූප රචනාවක් කරන්න තවම බැරිවුණා. මම ප්‍රසංග වේදිකාවේ ගී ගයන්නෙත් නෑ. මම මගේ ආත්ම තෘප්තිය වෙනුවෙනුයි කලාව කරන්නේ. මුදල් හම්බකරන්න මගේ ව්‍යාපාර තියෙනවා. ඒ හින්දා තමයි මම
කාර්යබහුල කලාකාරියක් නොවන්නේ ..

අධ්‍යක්ෂවරුන්ගේ දූ දරුවෝ පියාවරුන් විසින් රංගනයට ගෙන ආ අවස්ථා කලා ලොවේ දකින්නට ලැබෙනවා. තාත්තා අධ්‍යක්ෂකවරයෙක් හින්දා අභිෂේකාටත් පහසුවෙන්ම නිළිකමට එන්න තිබුණා නේද.. ?
මට රඟපෑමේ හැකියාව නැහැ. අනික මම දැන් පුංචි දුවක් ඉන්න අම්මා කෙනෙක් . අපි කොයි තරම් හොඳින් හිටියත් කටකතා හැදෙන්න පුළුවන්. මගේ දුවට මාව පෙන්නලා අර ඉන්නේ මගේ අම්මා කියන්න පුළුවන් වතාවරණයක් තියෙන්න ඕන.. ඒ හින්ද මම යන මේ ගමන හොඳයි .


අභිෂේකා මේ දිනවල “සිරස ටීවී” තුළින් ඉදිරිපත් වන “ ජූනියර් සුපර් ස්ටාර්” වැඩසටහනේ විනිසුරුවරියක්..... ඒ ගැනත් යමක් සඳහන් කරමු .. ?
සති දෙක තුනක් තුළ එම වැඩ සටහන විශාල ජනතා ආකර්ෂණයක් ලබල තියෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. වැඩසටහන ආරම්භ වූ දා පටන් විවිධ මත ගොඩනැගුණා . ඒ එම වැඩසටහන බොහෝ අයගේ අවධානයට යොමු වූ හින්දා.. මේ තරගයට ඉදිරිපත් වූ ඇතැම් දරුවන්ගේ ගීත අන්තර්ජාලයේ ලක්ෂ ගණන් නැරඹූ බව දකින්නට පුළුවනි. ඇත්තෙන්ම “සිරස ජූනියර් සුපර් ස්ටාර්” සඳහා සම්බන්ධ වීමට ලැබිම සතුටක් ..

තරගයේදී ඔබ ඇතුළු විනිසුරුවන් ඇතැම් තරගකරුවන්ට විශේෂත්වයක් දක්වන බවක් හැඟෙනවා...
කිසිසේත්ම නැහැ.. මෙය සම්පූර්ණයෙන් විනිවිධ භාවයෙන් යුතු බව අවධාරණයෙන් කිව යුතුයි . මම , ප්‍රදීප් සහ හේෂාන් තිදෙනා සහ තරගකරුවන් තරග පරිශ්‍රය තුළදී  මුණ ගැසෙන්නේවත් නැහැ.. ආහාර ගැනීමට විවේක ගැනීමට පවා අපිට වෙන් වෙන් වශයෙනුයි ඉඩ වෙන්වී තිබෙන්නේ .  අනික ඒ හැම ළමයෙකුගේම මව්පියන් එතැන සිටිනවා. ඉතින් අපිට බැහැ කාටවත් විශේෂත්වයක් දක්වන්න .

මෙවැනි රියැලිටි තරගවලදී තරග විනිශ්චය තුළ විනිසුරුවන් ගැටෙන අවස්ථා තියෙනවා.. ඒත් හේෂාන් , ප්‍රදීප් සහ ඔබ ඇතැම් අවස්ථාවල ඇතැමුන්ට ප්‍රතිචාර දක්වන්නේ හරියට කලින් සැලසුම් කරගෙන සිටියා වගේ කියලා ඇතැමුන් පවසනවා. ..?
එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක් . අපි අතර එවැනි සැලසුමක් නැහැ. ඔය විදියේ ප්‍රතිචාර නගන අය ඒ වගේ තීරණ ගන්නේ මේ විකාශය වූ වැඩසටහන් බලලා... නමුත් අවසන් 12 දී අපිට වෙන් වෙන් වශයෙන් තරගකරුවන් ලැබෙනවා. ඒ අය ඉදිරියට යවන අවස්ථාවේදී අප අතර ඇතිවන මත ගැටුම් ඉදිරියේදී පෙනේවි.

අභිෂේකාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතාකළොත්..
මගේ සැමියා නිරාන් අලහකෝන් . ඔහු ඉංජිනේරුවෙක්. මගේ පළමු ගීත රූප රචනය “ සීමා නෑ” රූප රචනයේ ඔහු රඟපෑවා. මගේ දුව “ෆියුරි අභිලාෂ්‍යා අලහකෝන්”ට දැන් වයස 4 යි. අපේ ජීවිත සතුටින් ගෙවී යනවා.

ආරියවංශ කුලතිලක (Lakbima)