සමන්ත මොකද උනේ?

රිය අනතුරක්‌ සිද්ධ උනානේ.

කවදද?



ඔක්‌තෝම්බර් මාසේ 12 වැනිදා

කොහේ යද්දිද අනතුරට මුහුණ පෑවේ?

එදා මං ලියන අන්දර යාය අලූත්ම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල තිබුණා උදේ. ඉතිං මං පුතාව ඉස්‌කෝලෙට දාලා ඒකට සහභාගි වෙන්න යමින් ඉද්දි තමයි මේ සිද්ධිය වුණේ.

ඉතිං?


මං ඉස්‌සරහට එන කොට මගේ පිටිපස්‌සේ රෝදෙට උඩින් එයාගේ ඉස්‌සරහ රෝදෙට උඩින් බෆර් එක ගෑවුණා. පොඩි සීරීමක්‌ වුණා වාහනවල. ඉතිං මං වාහනෙන් එහෙමම නතර කරලා වාහනේ බැහැලා ගිහිං බැලුවා. නමුත් අපි දෙන්නගේ වාහන නිසා එතන මුළු පාරම අවහිර වෙලා පාරේ ගිය අනිත් අයට අපිව හිරිහැරයක්‌ වන නිසා මං නැවත වාහනේ අයිනට කරලා නතර කළා. ඕක තමයි සිද්ධිය.

එතකොට අර පළවුණු ඡායාරූප?

මං වාහනේ අයිනට ගන්නකොට සහ වාහනෙන් බැහැලා අනිත් වාහනේ දෙසට යද්දී ඔහු ගත්ත ඡායාරූප.

ඉතිං ඇයි මෙච්චර දුරදිග ගියේ?

එතනට ඒ අසල සිටි පොලිස්‌ නිලධාරියකුත් ආවා. ඔහුත් මේක සමතයකට පත් කරන්න උත්සහ කළා. අනිත් පාර්ශ්වය කිව්වා, වාහනේ හදලා දෙන්න කියලා. මං කිව්වා මං කියන ගරාජයට දාන්න මං හදලා දෙන්නම් කියලා. ඒකට අකැමතිවෙලා ඔහු ලොකු මුදලක්‌ ඉල්ලුවා මගෙන්. ඉන්ෂුවරන්ස්‌ එකෙන් හදාගන්නත් ඔහු අකමැති වුණා. ඉතිං මං කිව්වා එහෙනං නඩු දාන්න, ඒ විදිහට මේ ප්‍රශ්නේ විසඳගමු කියලා.

එතකොට 119 කතා කරලා පොලිස්‌ නිලධාරියෙක්‌ ගෙන්නන්න සිදු වුණේ?

එහෙම දෙයක්‌ සිද්ධ වුණේ නැහැ. ඒ ආසන්නයේ කොහොමත් උදේට පොලිස්‌ නිලධාරියෙක්‌ ඉන්නවා එතන රථ වාහන හසුරුවන්න. ඒ නිලධාරියා තමයි එතනට ඇවිත් බැලුවේ. එහෙම නැතුව 119 කතා කරලා පොලිසියෙන් ගෙන්නන්න උවමනාවක්‌ තිබුණේ නැහැ.

එතකොට ඒ සිද්ධිය මෙච්චර දුරදිග ගියේ කොහොමද?

ඒ සිද්ධිය එතනින් ඉවර වුණත් ඔහු දිගින් දිගටම මං ගැන සහ සිද්ධිය ගැන හුඟක්‌ නරක විදිහටම දේවල් පළ කරලා තිබුණා. ඉතිං ඒ පළ කරපු නරක දේවල්වලට ඔහුගේ යාලුවෝම කමෙන්ට්‌ස්‌ දාලා නින්දිත විදහට මට අපහාස කරලා තිබුණා.

මේ සිද්ධියට අදාළ අනිත් පාර්ශ්වය කලා ක්‌ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌ද?

මං දන්නා තරමින් නැහැ.

මේකට මෙච්චර ප්‍රචාරයක්‌ ලැබුණේ කොහොමද?


මේක මේ මට විතරක්‌ අදාළ දෙයක්‌ නෙමෙයි. පහුගිය කාලේ සිද්ධ වුණු ගොඩක්‌ සිදුවීම් වලින් අපි ඒක දැක්‌කනේ. අනික ඉතිං වෙබ් අඩවි දවසට ඔවුන්ට ලැබෙන පුවත් තොරතුරු ප්‍රචාරය කරලා ඔවුන් වෙබ් අඩවි පවත්වා ගෙන යන්නේ. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණ වෙන්න පුළුවන්, නමුත් ඒක පාර්ශ්වීයව තොරතුරු පළ නොකර අදාළ අනිත් පාර්ශ්වයන්ගෙනුත් විමසලා තොරතුරු පළ කරනවා නං තමයි හොඳ. පසුකාලීනව වෙබ් අඩවි මගෙනුත් තොරතුරු අහලා එය සාධාරණීකරණය කළා. නමුත් එතකොට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි.

ඔබ ඔහුට තර්ජනය කළා?

කොහෙත්ම නැහැ. මම වැඩ කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ. ඉතිං මගේ පවුලට, මගේ රාජකාරි ජීවිතය තුළ වගේම මගේ නිර්මාණ කටයුතුවලට ලොකු බලපෑමක්‌ කළා. මගේ නිර්මාණ කටයුතු හැම දේම මේ ටිකේ අඩාල වුණා. ඔහු දිගින් දිගට කළ මේ හිරිහැරය ලොකුවට බලපෑවා.

එතකොට ඔබ නළුවෙක්‌ද?

අනේ ඒක ඇත්ත. මං ඔය කියන මහා ලොකු නළුවෙක්‌ නෙමෙයි. හැබැයි පාසල් කාලයෙන් පටන් ගෙන මේ දක්‌වා උපරිම කාට්‌ට කාලා මේ ක්‌ෂේත්‍රය තුළ බොහෝ දේ ඉගෙනගෙන කැමරාකරණය, අධ්‍යක්‌ෂණය, පිටපත් රචනය, රංගනය, කලා අධ්‍යක්‌ෂණය, මේ හැම දේම හොඳින් හදාරලා වේදිකා නාට්‍ය, වීථි නාට්‍ය ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රවල කටයුතු කරමින් හැදිච්ච රංගන ශිල්පියෙක්‌ පමණයි. මං තරුවක්‌ නෙමෙයි. යමක්‌ කරන්න උත්සහ කරන රංගන ශිල්පියෙක්‌. මේ ක්‌ෂේත්‍රවල කටයුතු කරලා සම්මාන ගණනාවක්‌ හිමිකර ගන්න මට හැකි වුණා. ඉතිං ඒ දේවල් එක්‌ක මම තාමත් කලා ක්‌ෂේත්‍රයේ ස්‌ථාවර වෙන්න උත්සහ කරන අංකුර කලාකරුවෙක්‌. අනික මම මේ සිදුවීමට මුහුණ දුන්නේ සාමාන්‍ය මනුස්‌සයෙක්‌ විදිහට මිසක්‌ නළුවෙක්‌ හෝ වෙන කෙනෙක්‌ විදිහට නෙමෙයි.

ඔබ තරුවක්‌ නෙමෙයි කිව්වනේ. එතකොට ඒ අවස්‌ථාවේ ඔහු ඔබ කලා කරුවෙක්‌ කියලා අඳුනා ගත්තද?

අනේ මන්දා... හැබැයි ඔහු මෙහෙම ප්‍රකාශයක්‌ නං කරලා තිබුණා සිදු කියලා එක නාට්‍යයක රඟපෑ පමණින් මූ නළුවෙක්‌ද.

මේ දවස්‌වල ඔබ දකින්න පුළුවන් නිර්මාණ මොනවද?

දූවිලි මල්, වන් වේ, චක්‍ර, මීදුම් අම්මා, තුම්මන් තැන්න, සිදු, අම්මා, සල් සපු නා, රතු පිච්ච, ආදර ගීතය, අන්දර යාය ටෙලි නාට්‍ය කිහිපයට තමයි මේ ටිකේ සම්බන්ධ උනේ. වේදිකා නාට්‍ය නං යාදිනි, මම සහ මම, සර්පයකු සමඟ, ඒ වගේම බන්දුල විතානගේ මහතා සමග වැනිසියේ වෙළෙන්දා සම නිෂ්පාදනය කළා, කැලණි පාලම, මඟුල් පරස්‌තාව සහ මේ ටිකේ තරංග බණ්‌ඩාර ගේ චෞද්රි වේදිකා නාට්‍යයට තමයි සම්බන්ධ වුණේ. මේ වේදිකා නාට්‍ය අතුරින් බොහොමයක්‌ සම්මාන ගණනාවකට හිමිකම් කියන්න සමත් වුණා.

යුගන්ති යශෝදරා(මීවිත)