පාකිස්තාන මානව ක්‍රියාකාරිනී  මලාලා යුසෙෆ්සායි  ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වරම් හිමිකර ගනිමින් එයට ඇතුළත්වීමෙන් පසු පසුගිය 9 වනදා පළමු දේශනයට සහභාගී වූවාය.
මලාලා යුසෙෆ්සායි දැරිය මීට අවුරුදු පහකට පෙර, 2012 වසරේදී, පාකිස්තානයේ තලේබාන්
ත්‍රස්තවාදියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වුවාය.

ඒ වනවිට මලාලා, ගුරුවරයකු වුණු සිය පියාගේ ද සහාය ඇතිව බී.බී.සී. සේවය වෙනුවෙන් පාකිස්තානයේ බාළිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගු සිසුවියක වුවාය. ඇය පාසල් බස්රියක සිටියදී තලේබාන් ත්‍රස්තවාදියෙක් ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබු පසු බරපතල ලෙස තුවාල ලැබූ මලාලා රටින් පළාගොස් බ්‍රිතාන්‍ය යේ රැකවරණය පැතූ අතර සිය සටන දිගටම ගෙනගියාය.
නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින මලාලා යුසෙෆ්සායි 20 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇයට බ්‍රිතාන්‍ය ගෞරවනීය පුරවැසිකම ලැබීමෙන් පසු ඔක්ස්ෆර්ඩ් සරසවි වරම් හිමිවුයේ පසුගිය අගෝස්තුවේය. ඒ, ඇය දක්ෂ ලෙස උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවය.
ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දර්ශනවේදය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරීමට තෝරාගෙන ඇත.
මලාලා අද එක්සත් ජාතීන්ගේ බාලිකා අයිතීන් සුරැකීම් වෙනුවෙන් විශේෂ නියෝජිතවරියක ලෙසද කටයුතු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී අසරණ දැරියන්ට පිහිටවීම සඳහා ‘මාලාලා පදනම්’ යන නමින් පදනමක්ද පිහිටුවා ඇත.
දක්ෂ කථිකත්වයක් හිමි නොපසුබට උත්සාහයෙන් කටයුතු කරන නිර්භිත තරුණියක ලෙස නම් දැරූ මලාලාගේ කතාව විවිධ සාහිත්‍ය නිර්මාණ චිත්‍රපට වලටද පාදකවී තිබෙන්නකි.