උතුරු ඇමරිකාවේ මිචිගන් විල බෝට්ටුවකින් තරණය කරමින් සිටි යුවළක එම බෝට්ටුවේ රැගෙන ගිය සුනඛයා අහම්බෙන් දියට වැටීමෙන් පසු ඌ කිලෝමීටර 6 ක් විලේ පිහිනා ගොස් නැවත නිවසට ගමන් කරන්නට ගිය පුවතක් වාර්තා වෙනවා.

ඇමරිකාවේ ඉලිනොයිස්හි වාසය කරන එඞ් හා ක‍්‍රිස්ටීන් යුවළ පසුගිය ඉරිදා ෆ‍්‍රැන්ක්ෆර්ට් වරායේ සිට මනයිටු දූපත් වෙත සිය සුනඛයාද රැගෙන බෝට්ටු චාරිකවක නිරතවෙද්දී කිලෝමීටර 10 ක් පමණ ගමන් කළ පසුව ඒ දෙදෙනාටම නොදැනී සුනඛයා අතුරුදන්වී ඇත.
අනතුරුව හදිසි ඇමතුම් ඒකක වෙත රේඩියෝ පණිවිඩ යැවීමෙන් පසු ප‍්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන් ඔස්සේ සුනඛයා අතුරුදන්වීමේ පුවත ප‍්‍රචාරය වී තිබෙන නමුත් කිසිම හෝඩුවාවක් මුලදී ලැබී නැත.
සිද්ධියට පසුදින උදෑසන එක්තරා කාන්තාවක හදිසි ඇමතුම් ඒකක අමතා දන්වා ඇත්තේ එම කියූ ආකාරයේ ලක්ෂණ සහිත තෙමුණ බල්ලෙකු තමන් විල් තීරයේදී දැකගත් බවයි. ඒ ඔස්සේ පරීක්ෂා කර බැලීමේදී විල මැදදී අතුරුදන් සුනඛයා කිලෝමීටර 6 ක් දුර පිහිනා ගොස් නැවත ස්වාමියාගේ නිවසට ගමන් කරන්නට උත්සාහ දරා ඇති බව හඳුනාගන්නට ලැබී ඇත.