සමුගත් කලාකරු විජය නන්දසිරි මහතාගේ මරණය පිළිබඳ පරීක්ෂණයේදී ඔහුගේ බිරිය දේවිකා මිහිරානි මෙසේ පවසා ඇත.

‘විජේ සඳුදා (08) උදේ කිරිබත් ඉල්ලූවා. මම කිරිබත් හදලා දුන්නා. පස්සේ මම බාත් රූම් එකේ ඉන්න විට පපුව දැවිල්ලයි දැවිල්ලයි කියා කෑගහනවා ඇහුනා. මම විගහට එයා ළඟට ආවා. පසුව
පුතා ඇවිත් උගුරට ගහන ස්පේ‍්‍ර එක දුන්නා. ටික වේලාවක් යන විට මගේ අත උඩට මුහුණ ඇලවුණා.
මම විජේ විජේ කියලා කතා කළා. ඇස් ඇර මා දිහා බැලූවා. ඒ සමගම පපුවේ ශබ්දයක් ආවා.
මගේ නැගණිය එදා නිවසට ඇවිත් හිටියේ.එයාත් ඇවිත් බැලූවා. හුස්ම දෙන්න බැලූවා. හරිගියේ නෑ. අපි ඇම්බියුලන්ස් එකක් ගෙන්නගෙන රෝහලට ගෙන ගියා. පුතා මාව එක්කගෙන මෝටර් රථයෙන් ගියා.
අවුරුදු 25ක පමණ සිට මගේ සැමියාට දියවැඩියාව තිබුණා. අවුරුදු නවයක දහයක සිට වම් කකුළේ තුවාලයක් තිබුණා. ඔහුට 2000 වසරේ දී බයිපාස් සැත්කමක් කළා.’

දකුණු කොළඹ මහා රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල නරසිංහ මහතා ඉදිරියේ ඇය සාක්කි දුන් අතර විජය නන්දසිරිගේ මරණය හෘද රෝගය නිසා සිදුවූ ස්වභාවික මරණයක් බවට ඔහු තීන්දු කළේය.