බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පසුගිය වසරේ තේරී පත්වූ 41 හැවිරිදි කම්කරු පක්ෂ මන්ත‍්‍රීවරියක වන ජෝ කොක්ස් ඊයේ අනපේක්ෂිත වෙඩි ප‍්‍රහාරයකින් මරු දුටුවා.
ලබන බ‍්‍රහස්පතින්දා පවත්වන්නට නියමිත යුරෝපා කොමිසමට බි‍්‍රතාන්‍යය සම්බන්ධවීම පිලිබඳ ජනමත විමසුම නිසා මේ දිනවල
ඒ රටේ මහජන පෙළපාලි  හා රැස්වීම් පවත්වනවා. මේ අතරවාරයේ මෙම මන්ත‍්‍රීවරිය උතුරු එංගලන්තයේදී රැස්වීමක් අමතමින් සිට ඇති අතර එය පැවැත්වෙමින් තිබූ පුස්තකාලයකට පිටතින් කෝලාහලයක් මතුවනු දැක එයට සම්බන්ධවූ පුද්ගලයන් දෙදෙනෙකු මැදට ඇය ගොස් ඇත.
එම අවස්ථාවේ ආයුධ අතැතිව සිටි එක් පුද්ගලයෙකු ඇයට ප‍්‍රහාර එල්ල කර ඇත.

වෙඩි ප‍්‍රහාරයකට ලක්වී තුවාල ලැබූ මන්ත‍්‍රීවරිය බිම ඇද වැටුණ පසු එම පුද්ගලයා ඇයට පිහියකින්ද ඇන පළායන්නට හදද්දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ලේ පෙරාගෙන බිම වැටී සිටි මන්ත‍්‍රීවරිය අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ පසුව මියගියා.
අත්අඩංගුවට පත් පුද්ගලයා පනස් දෙහැවිරිදි ටොමී මෙයර් නමැති පුද්ගලයෙකි. මියගිය මන්ත‍්‍රීවරිය වූ ජෝ කොක්ස් බි‍්‍රතාන්‍ය දේශපාලනයේ නැගී එන තරුවක් ලෙස සැලකුණ තැනැත්තියකි. ඇය මානුෂවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් ඇතිකරන ලද සංවාද නිසා ජනප‍්‍රියත්වයට පත්ව සිටි අයෙකි. දරුවන් දෙදෙනෙකුගේ මවක වන කොක්ස්, යෝක්ෂයර්හි බැට්ලේ සහ ස්පෙන් නියෝජනය කරමින් 2015 දී එරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත‍්‍රීවරියකි.
දේශපාලන ඝාතන වැනි මෙවැනි සිදුවීම් එංගලන්තයේ කලාතුරකින් සිද්ධවන බවත් ඒ නිසා ජනතාව තුළ කම්පනයක් හටගෙන ඇති බවත් බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
1990 වසරේදී අයි.ආර්.ඒ. ප‍්‍රහාරයකින් කන්සවර්ටිව් පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වූ ඉයන් ගොව් ඝාතනය වීමෙන් පසුව එරට බලයේ සිටින දේශපාලනඥයෙකු මෙසේ ඝාතනය වූයේ වසර 26 කට පසුය.