බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමගම බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වලට යුරෝපා සංගමයෙන් ලැබුණු මුල්‍යමය දායකත්වය නැවතී යාමේ අනතුරක් පවතින බව විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් ගේ සංගමය පවසයි.
බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල අතර කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය වැනි 'රසල් ගෘප්' නම් ඉහලම විශ්ව විද්‍යාල කණ්ඩායම සඳහා වසරකට යුරෝපා සංගමයෙන් පවුම් මිලියන පන්සියයක මුදලක් ලැබෙමින් පැවතින බවයි විදෙස් වාර්තා පැවසුවේ.
පවතින තත්ත්වය හමුවේ එය නොලැබී ගිය හොත් එම ආයතන වල සිදුවෙමින් පවතින ගවේෂණ සහ පර්යේෂණ වලට එය බලපෑ හැකි බවයි පැවසෙන්නේ.
එසේම බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වන යුරෝපා සංගමයට අයත් රටවල සිසු සිසුවියන් ගේ අධ්‍යාපන ණය මුදල් සඳහා ද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඍජුවම බලපාන බවයි එම ආයතන වලට සම්බන්ධ කණ්ඩායම් පවසන්නේ.