රුසියාවේ වලැඞ්මිර් පුටින් දක්වන නිර්භීත භාවයත් , මැලේසියාවේ මහතීර් මොහොමඞ් දක්වන කළමණාකරනයේ සුවිශේෂී හැකියාවත් ,  සිංගප්පුරුවේ
ලී ක්වාන් යූ දැක්වු  දූරදර්ශීභාවයත් යන සුවිශේෂී ලක්ෂණ තුනම ඇති, ලක් ඉතිහාසයේ බිහිකළ හැකි සුවිශේෂී ජනාධිපති අපේක්ෂකයා මීළඟ ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බවට රටට පොරොන්දු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළා.


ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟ ජනාධිපතිවරණය 2019 ඔක්තෝබර් මාසයේ ප‍්‍රකාශයට පත් කළ යුතු බවත්, ජනාධිපතිරවණයේ අපේක්ෂකයා තීරණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු හදිස්සියක්  නැති බවත් සදහන් කළ අතර ඊළඟ ජනාධිපතිවරණයේ දී ආප්ප න්‍යාය ක‍්‍රියාත්මක කිරීමට තම කණ්ඩායම සුදානමින් සිටින බව ද මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ විට රටම පුදුම වෙන අපේක්ෂකයකු නම් කරන බව ද ගම්මන්පිල මහතා පවසනවා.


ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා සමග එකතුව වැඩ කිරීමට තමන්  සූදානම් බවත් තමන් සමග එකතුව වැඩ කිරීමට ඔවුන් සූදානම් බව එම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන එස්.බී දිසානායක මහතා කීප වරක්ම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබෙනවා. මෙහිදි ඔවුන් සමඟ කණ්ඩායම ශක්තිමත් කරගෙන, අනාගතයේදී  ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජ.වි.පේ. සහයෙන්වත් ගොඩ නගා ගත නොහැකි තත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.