දොළොස් හැවිරිදි තම දියණිය දූෂණය කිරීම සම්බන්ධව අධි චෝදනාවට වරදකරු කළ විත්තිකාර පියකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා බරපතළ වැඩ සහිත විසි වසරක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩයක් නියම කොට අධිකරණය මඟහැර සිටින විත්තිකරු අත්අඩංගුවට
ගැනීම සඳහා ඊයේ (14දා) විවෘත වරෙන්තු නිකුත් කළේය. මෙසේ දඬුවම් නියම වූයේ මන්තක ගමගේ සම්පත් තුෂාර හෙවත් වලව දුරගේ සෝමතිලක නමැති හැටහත් හැවිරිදි විත්තිකරුට ය.

        

උඩුගම පොලිස් වසමේදී 2002 දෙසැම්බර් 16 වැනි දින දොළොස් හැවිරිදි තම බාල වයස්කාර දියණිය නිවෙසේදී දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි. නඩු විභාගය ආරම්භයේ සිටම විත්තිකරු අධිකරණය මඟහැර සිටීම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 වගන්තිය යටත් විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යන ලදී. එවකට පනස් වැනි වියේ පසු වූ විත්තිකරු සහ ළමයි සිවුදෙනා උඩුගම වත්තක පදිංචිව වත්තේ වැඩ කරමින් සිටි බවත්, දූෂණයට ලක් වූ දැරිය පාසල් අධ්‍යාපනය ලබා නැති බවත්, විත්තිකරු අධික ලෙස මත්පැන් පානය කර බිරිය සමග ආරවුල් ඇති කරගත් පුද්ගලයකු බවත් පැමිණිල්ල කියා සිටියේය.

         සිද්ධිය වූ දින දහවල් වත්තේ වැඩකොට පැමිණ විත්තිකරු සවස උඩුගම හදියට පැමිණ මත්පැන් පානය කොට රාත්‍රි හතට පමණ නිවසට ගොස් ඇති බවත් එසේ ගොස් බිරිය සමඟ ආරවුල් කර ගන්නා විට බිරිය දරුවන් රැගෙන එළියට බැස සිටියදී වැඩිමහල් දියණිය නිවෙසට කැඳවා කෑම උයන ලෙස පවසා ඇති බවත් ඒ අනුව ඇය කෑම උයා ඇති බවත් පැමිණිල්ල වැඩිදුරටත් කියා සිටියේය. ඉන්පසු බාල ළමයින්ට කෑම නොකා නිදා ගන්නා ලෙස පවසා ඇති විත්තිකරු වැඩිමහල් දියණිය මුළුතැන් ගෙයිදීම දූෂණය කර ඇති බවත් පසුව ඔවුන් වතු හිමිකරුට සිද්ධිය පැවසීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය. රජයේ අධිනීතිඥ කේ.වී. ඉන්දිකා මෙනවිය පැමිණිල්ල මෙහෙය වූවාය.