විශිෂ්ට භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකිං 76 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.කළු කුහර, විශ්වයේ සම්භවය, එහි ආරම්භය, ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය විශ්ලේෂණාත්මක අදහස් දැක්වීම් නිසා  ඔහුව ඇතැමුන් හදුන්වනු ලැබූයේ නූතන යුගයේ ‘අයින්ස්ටයින්‘ ලෙසිනි.
වයස අවුරුදු 22 සිට ස්නායුගත රෝගී තත්ත්වයකින් පෙළුණු හෝකිං සිය ජීවිතයේ වැඩි කාලයක් ගතකරන ලද්දේ රෝදපුටුවක් මතයි.ඔහු අදහස් ප්‍රකාශ කළේ කතාකරන පරිගණකයක් හරහා යි.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය අසළ පිහිටි සිය නිවස තුළ දී මෙම විශිෂ්ට විද්‍යාඥයා වද වේදනාවකින් තොරව මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසා තිබේ.මරණය සැළවීමත් සමග විද්‍යා විෂයයන් ප්‍රියකරන ලොව පුරා වෙසෙන්නන් කම්පනයට පත්වී ඇති අතර සමාජ ජාල ඔස්සේ සිය ශෝකය පළ කර තිබේ.


බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයකු සහ ගණිතඥයකු වන ස්ටීවන් හෝකින්ගේ ජීවිතය අලලා  “The Theory of Everything” චිත්‍රපටයක්ද නිර්මාණය වී තිබේ.
1942 ජනවාරි 08 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී  උපත ලද ස්ටීවන් 1962දි ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා  කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරීම ආරම්භ කරන්නේය. විශ්වයේ සම්භවය පිළිබඳ හැදෑරීම් නව මානයකට ගෙන එන්නට ඒ කාලයේ ඔහුට හැකි විය.
නමුත් ඔහු අඩපණ වන්නේ 1964දී.
ස්ටීවන් තම රෝගය ගැන දැන ගැනීමට පෙර, 1963 වසරේදී උත්සවයකදී මුණ ගැසුණු ජේන් නම් තරුණියක් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටින අතර ඔහු ආබාධිත වූ පසුව ඇය 1965දී ස්ටීවන් සමඟ විවාහ වෙනවා. ඔවුන්ට දරු 3 දෙනෙකුද ලැබෙනවා.1990දී ජේන් තවදුරටත් ඔහු වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කළ යුතු නැති බව තීරණය කරන ස්ටීවන් ඇගෙන් වෙන්වන අතර උපස්ථාන කිරීමට පැමිණි එලියන් මේසන් සමඟ 1995 දී විවාහ ‍වෙනවා. නමුත් එලියන් දිගටම ස්ටීවන් හා රැඳෙන්නේ නැහැ. 2006දී ඔවුන්ගේ විවාහය කෙළවර වෙනවා.
 1985දී නිව්මෝනියාව වැළඳී ඉතා අසාධ්‍ය තත්ත්වයක සිටි ස්ටීවන් ජීවත් වේ යැයි කියා වෛද්‍යවරු විශ්වාස කළේ නැත. එහිදී සැත්කමක් මඟින් ශ්වාසනාල ද්වාරය ඉවත් කිරීමට සිදු වීම නිසා සදාකාලිකව ස්ටීවන්ට ඔහුගේ කටහඬ අහිමි විය. පසුව ඔහු පරිගණක ආධාරයෙන් කථාකරන මැෂිමක් සවිකරගෙන රෝද පුටුවේ සිට ධෛර්යයෙන් ඉතිරි වැඩ කළේය. මියයන තුරුම ඔහු විද්‍යාව වෙනුවෙන් කැපවුණේය.

ඔහු පිළිබඳව video සටහන පහතින්