පහත පළවන්නේ සමුගත් දසුන් නිශාන් 2017 මැයි මාසයේ 14 වනදා දිවයින මීවිත අතිරේකයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක උපුටනයකි.
මෙහිදී තමා විවාහ වූ  අයෙකු බව මෙන්ම ශලනි සමග පෙම් කතාවද දසුන් වසං කර තිබේ.

කොහොමද දසුන්

මම හොඳින්

 මේ දවස්‌වල ටී. වී. චැනල් බදුඅරන් කියල චෝදනාවක්‌ තියෙනවා.

දැනට මම රඟපාපු මුතුමලී - අයි. ටී. එන්. කවුරුන්ද නුඹ මගේ - හිරු පැහැසරා - සිරස නාලිකාවල විකාශය වෙනවා. ඒකයි එහෙම කියනව ඇත්තෙ. හෙට ඉඳල සිරස හරහා රතුපිච්ච නාට්‍යත් විකාශය වෙනවා.

 මේ විදියට නිතර පේන්න ඉන්න එකෙන් වාසියක්‌ තියෙනවද?

මේකෙන් සිදුවෙන්නෙ අවාසියක්‌. අර කතාවක්‌ තියෙන්නෙ නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයි කියල. ඒ වගේ ප්‍රේක්‍ෂකයන්ට අපිව එපාවෙන්න පුළුවන්.

 මේ තත්ත්වෙන් මිදෙන්න ඔබ අනුගමනය කරන්නේ මොනවගේ පිළිවෙතක්‌ද?

මේ වෙනකොට මම ප්‍රතිපත්තියක්‌ විදියට මියුසික්‌ වීඩියෝ වලට පෙනී සිටීම නතර කරල තියෙන්නෙ. මොකද නිතර නිතර අපිව දැක්‌කහම අපේ වටිනාකම අඩුවෙනව කියලයි මම හිතන්නෙ.

 ඒ කියන්නෙ දසුන් දැන් ඩිමාන්ඩ් කරන නළුවෙක්‌.

නෑ. ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීනව රැඳෙන්න නම් එහෙම හිටියොත් හරි කියන තැනයි මම ඉන්නෙ. නළුවො විතරක්‌ නෙමෙයි ඕනම කෙනෙක්‌ රෙස්‌පෙක්‌ට්‌ එකට ජීවත් විය යුතුයි.

 මේ විදියට රෙස්‌පෙක්‌ට්‌ එකට ඉන්න දසුන් වැඩකරන්න කැමති නිළියො කවුද කියන්න පුළුවන්ද?

එකෙන්ම දිනක්‍ෂි - ශලනි - විනූ - වොල්ගා

 මොකද්ද ඒ විශේෂය

මේ වෙද්දී වැඩිපුර මම වැඩ කරල තියෙන්නෙ මේ අය එක්‌ක. ඊළඟ කාරණේ තමයි අපි අතර පවතින අෙන්‍යාන්‍ය අවබෝධය.

 එතකොට පැරණි නිළියන් එක්‌ක වැඩකරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්

ඒකද? ඒක මේ ජීවිතේ ලැබෙන ලොකුම භාග්‍යයක්‌ ලෙස සලකනවා.

 නිළියන්ට පුංචි තිරයේ පෙම් කරන ඔබට හැබෑවටම හිතගිය නිළියක්‌ නැද්ද.

නැහැ. ඒ හැමෝම ක්‍ෂේත්‍රයේ මාත් එක්‌ක එකට ඉන්න සහෝදරියො.

 අහම්බෙන් හරි නිළියක්‌ ඔබේ ආදරේ ඉල්ලුවොත්

සොරි කියල කියන්න තමයි වෙන්නෙ.

 එතකොට ඔබේ හිතගිය කෙනෙක්‌ ඇත්තෙම නැද්ද?

ආ... එහෙම කෙනෙක්‌ ඉන්නවා.

 ඇය කවුද කියල දැනගන්න ඔබේ රසිකයො කැමති වේවි.

ඒ ගැන පස්‌සෙ කියන්නම්. එතකන් මගේ රසිකයො මං කවුද කියල දැනගත්තොත් ඇති.

 රංගනයේදී ඔබ පෙම්වතියගේ සීමාමායිම්වලට යටත්ද?

මේ වෘත්තිය එහෙම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි කියන එක ගැන ඇයට අවබෝධයක්‌ තියෙනවා.

 ප්‍රියන්ත කොළඹගේ ඔබව සිනමා නළුවෙක්‌ කළා කියලත් ආරංචියි.

ඔව්. ඒත් ඉස්‌සෙල්ලම මාව සිනමා නළුවෙක්‌ කළේ උදයකාන්ත වර්ණසූරිය චැලෙන්ජස්‌ චිත්‍රපටය හරහා. ඊළඟට උදාර පල්ලියගුරු සුපර් සික්‌ස්‌ චිත්‍රපටයෙන්. තුන්වෙනියට තමයි ප්‍රියන්ත කොළඹගේ දේදුණු ආකාසෙ චිත්‍රපටය හරහා සිනමා නළුවෙක්‌ කළේ.

 වේදිකාවට ගොඩවෙන්න අදහසක්‌ නැද්ද.

දමයන්ති ෆොන්සේකා මහත්මියගෙ ගාස්‌තුව කීයද නාට්‍යයේ මං හරි සතුටින් වැඩකරා. ඇත්තටම ලොකු ආසාවක්‌ තියෙනවා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න.. මේ තියන කාර්යබහුලකම තමයි ගැටලුවකට තියෙන්නෙ.

 නිර්මාණකරණයට යොමුවීමේ අදහසක්‌ බලාපොරොත්තුවක්‌ නැද්ද?
ඒ සඳහා යොමුවෙන්න මම තව පරිණත වෙන්න ඕන. පිටරටකට ගිහින් අවශ්‍ය දැනුම එකතුකරගෙන ඇවිත් මැරෙන්න මොහොතකට කලින් කොහොම හරි නිර්මාණයක්‌ කරනවා.

 ජනප්‍රියත්වයත් සමඟ සමහරු හිස උදුම්මවා ගන්නවා. ඉදිරියේදී දසුනුත් එහෙම වෙයිද?

අයියෝ නෑ. මම ෆිල්ඩ් එකට ආපු විදියටම අදත් වැඩකරගෙන යනවා. ඉදිරියේදීත් ඒකෙ වෙනසක්‌ වෙන්නෙ නෑ. මේ දසුන් දසුන්ම තමයි.

 හෙට දවස වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු

මා ළඟ අඩුවෙන්ම තියන දේ ගැන තමයි ඔය අහන්නෙ.
ඒත් දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වීමේ බලාපොරොත්තුව. දැන් මගේ හිතේ ලියලනවා.

ධම්මික හේවාවසම්