ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය කාර්යාලයේ නවදිල්ලියේ සේවය කරන විශේෂඥ වෛද්‍ය අනෝමා ජයතිලක මහත්මිය නමින් පෙනී සිට ඇය දන්නා හදුනන අයගෙන් වසර හතක කාලයක සිට රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචනික ලෙස උපයාගත් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙක් පෙරේදා (14දා) අත්අඩංගුවට ගත් බව
දෙහිවල පොලිසිය කියයි.


දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික දුරකථනයට විශේෂඥ වෛද්‍යවරිය කතා කරන අයුරින් කතා කර සුවදුක් විමසා මඳ වේලාවකින් නැවතත් ඇමතුමක් ගෙන තිබූ මෙම සැකකාරිය ‘මම ත්‍රිකුණාමලයේ සර්වන්ට්ගේ ගෙදර මළගෙයක් වෙලා යන ගමන්. මට පොඩි මුදල් හදිස්සියක් වුණා. පුළුවන් නම්  රුපියල් පහළොස්දාහක් මගේ එකවුන්ට් එකට දානවද?’ යනුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කළ  විමර්ශනවලදී මෙම සැකකාරිය හා සැකකරු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ස්ථානාධිපති එච්.එල්. දුෂ්මන්ත මහතා ලද දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත විශේෂඥ වෛද්‍යවරියගේ මහගෙදරට කතා කර මෙය කිසියම් වංචනික ක්‍රියාවක් බව දැනගැනීමෙන් අනතුරුව මුදල් දෙන මුවාවෙන් උපක්‍රමශීලීව එම කාන්තාව පොලිස් ස්ථානයට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


එම සැකකරුවන් සමඟ විශේෂඥ වෛද්‍යවරියගේ නිවෙසේ තිබී සොරාගත් දුරකථන අංක සඳහන් පොතක් හා සැකකරුවන්   පැමිණි ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර හතකට පමණ ඉහතදී වෛද්‍යවරියගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බවත් එම නිවෙසින් ඉවත් වන විට එහි තිබී සොරාගෙන ආ දුරකථන අංක  සඳහන් පොතේ දුරකථන අංකවලට කතා කර  මෙලෙස මුදල් ගිණුම්ගත කරගත් බවත්  අනාවරණය වූ බව පොලිස් නිලධාරියා පැවැසීය.

මෙම සැකකාරිය ඒ අයුරින් කොළඹ අවට රෝහල් රැසක වෛද්‍යවරුන්ට වගේම පැමිණිලිකාර වෛද්‍යවරියගේ හිතවත් අයට වෛද්‍යවරිය කතා කරන ආකාරයෙන් දුරකථන ඇමතුම් දී මුදල් වංචා කර ඇති බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සැකකාරිය සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පිරිමි පුද්ගලයා ඇයගේ අනියම් සැමියා බවත් පොලිසිය කියයි.
සැකකාරියගේ වයස අවුරුදු පනස් අටක් බවත් සැකකරුගේ වයස අවුරුදු පනස් දෙකක් බවත් ඔවුන් පිළියන්දල, මිරිස්වත්තේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේමරත්න සහ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත  සහ උප පොලිස් පරීක්ෂක රුවන් ප්‍රභාත් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

(එම්.සී. පෙරේරා)