මෙම අවස්ථාව සිතින් මවාගන්න.විශාල සෙනඟක් රැස්ව සිටින ශාලාවක වේදිකාව මත සිටින පුද්ගලයෙකු කතාවක් ඉදිරිපත් කරයි. කුඩා කල සිට තමන් මුහුණ දුන් අභියෝග පිළිබඳව සඳහන් කරන ඔහු ඒ සියල්ල ජය ගැනීමට තමාට ඉතා සරල ක්‍රමයක් උපකාරවත් වූ බව පවසද්දී මුළු ශාලාවම මීයාට පිම්බාක් මෙන් නිශ්ශබ්දව ඉතා උනන්දුවෙන් ඔහුගේ කතාව අසා සිටී.
"මම කළේ x නිෂ්පාදනය y ආයතනයෙන් මිල දී ගත්තා. එම ආයතනයෙහි ජීවිත කාලය පුරාවට වලංගු සාමාජිකත්වයක් ලබාගත්තා. ඉන්පසුව මම මේ සඳහා
මගේ මිතුරන් කිහිපදෙනෙකුවත් හවුල් කරගත්තා. මේ නිසා මගේ මුළු ජීවිතේම අලුත් පිටුවක් පෙරළුණා. මම හැමදාටම මේ ආයතනයට ණයගැතියි. මං වගේ දුප්පත් මිනිහෙකුට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ මේ ආයතනය නිසයි. ඒ නිසා මං ඒ වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි."ඔහුගේ කතාව අසා සිටින ඇතැමෙකුගේ දෑසට කඳුළක් උනනු පෙනෙයි.

මෙවැනි අවස්ථාවක් පිළිබඳව ඔබට අසන්නට ලැබුණු පළවෙනි අවස්ථාව මෙයද? එසේ නම් පහත සඳහන් අවස්ථාව බලන්න, එය ඔබට හුරු පුරුදු වීමට ඉඩ ඇත.
බොහෝ කාලයකට පසුව සමන්තට ඔහුගේ මිතුරෙකුව මුණගැසෙයි. ස්ථිර රැකියාවක නිරත වන අතරම මුදල් ඉපයීමට තිබෙන තිබෙන නියම අවස්ථවක් පිළිබඳව කතාබහ අතරතුරේදී ඔහු පවසයි.

"එතරම් ලොකු දෙයක් කරන්න නැහැ. මේක රටවල් 100කට වැඩි ගණනක ව්‍යාප්ත වෙලා තියෙන බහු මට්ටමේ අලෙවිකරණ ආයතනයක්. ඒ නිසා එම ආයතනය සමඟ ව්‍යාපාර කිරීම ගැන බිය විය යුතු නැහැ. දැන් නිකම් ගෙදර ඉඳලා මම සෑම මාසයකටම ලක්ෂ කිහිපයක් හම්බ කරනවා. තව මාස කිහිපයකින් මට මගේම කියලා BMW රථයක් ගන්න පුළුවන්. ඔයාත් මේ ව්‍යාපාරයට එකතු වෙන්න කැමති නම් මම ඔයාව අදාළ කාර්‍යාලයට රැගෙන යන්නම්. මේ ව්‍යාපාරය ගැන බොහෝ විස්තර තියෙන නිසා මං දැන් සියල්ලම පැවසුවොත් ඒවා තේරුම්ගන්න ඔයාට අපහසු වෙයි" මිතුරා පවසයි.  එතරම් වෙහෙස නොවී මිලියනපතියෙකු බවට පත් වීම ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල සිටින පුද්ගලයන්ගේ සිහිනය වී තිබේ. දැඩි අසීරුතා යටතේ එදා වේල පිරිමසාගන්නා බොහෝදෙනා ස්වාභාවයෙන්ම මෙවැනි අවස්ථා ලබාගැනීමට කැමැත්තක් දක්වති.

නමුත් ඇත්තටම මෙම ව්‍යාපාරය කියන තරම් සොඳුරුද? නැතිනම් සොඳුරු ලෙස පෙන්වන මෙම රෝස මල් යහනාව පසුපස තිබෙන්නේ කටු අකුලක්ද?
පහසුවෙන් මුදල් හම්බ කරන්නට යෑම දුක්ඛාන්තයකින් කෙළවර විය හැකිය. ඉහත කී අවස්ථා දෙකෙහිම තිබෙන සමානත්වය නම් එම අවස්ථා දෙකේම සිටින පුද්ගලයන් තවත් පුද්ගලයන්ට මෙම ව්‍යාපරයට සම්බන්ධ වීමට සහ සති කිහිපයක් ඇතුළත වෙහෙසක් නොමැතිවම එමගින් විශාල මුදලක් ඉපයීමට හැකි බව පොරොන්දු වීමය. මෙම ව්‍යාපාරය සඳහා ඇතැමුන් කොතරම් ආකර්ෂණය වෙනවාද කිවහොත් එහි හවුල් වීම සඳහා අවශ්‍ය නිෂ්පාදන ලබාගැනීමට තමාට මුදල් නොතිබුණද වැඩි පොළී අනුපාතිකයකට වෙනත් පුද්ගලයන්ගෙන් ඒ සඳහා මුදල් ණයට ගන්නා අයුරු දැකගත හැකිය.

මෙම ලිපියෙහි මුලින් සඳහන් කළ අවස්ථාවන්වලට අනුව ඔවුන්ගේ අපේක්ෂාව මෙම ව්‍යාපාරය මගින් ජීවන බරින් නිදහස ලබා ධනවත් වීමය. නමුත් යථාර්ථය ඔවුන්ගේ බලාපොරොත්තු සුනු විසුණු කර දමා තිබීම කනගාටුවට කරුණක්ය. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු අවසානයේදී හසු වී තිබෙන්නේ පිරමීඩ ක්‍රමයකටය.
ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී ලෙස සැලකෙන මෙම පිරමීඩ ක්‍රමවලදී සිදු වන්නේ මෙසේය. පුද්ගලයෙක් පිරමීඩ ක්‍රමය සඳහා තවත් පුද්ගලයන්ව බඳවාගැනීමට අවසර ලබා ගැනීම සඳහා යම් ගෙවීමක් සිදු කරයි. එවිට ඔහුගේ ගෙවීම මගින් ඔහුට මෙය හඳුන්වා දුන් පුද්ගලයන්ට මුදල් ලැබේ. අලුතෙන් බැඳුණ පුද්ගලයන් තවත් පුද්ගලයන්ව බඳවාගැනීමට අවසර ලබා ගැනීම සඳහා යම් ගෙවීමක් සිදු කරන අතර එම පුද්ගලයන්ව බඳවාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මුදලක් හිමි වේ.

මෙවැන්නක් හඳුන්වන්නේ පිරමීඩයක් ලෙසය. මන්දයත් අලුතෙන් පුද්ගලයන් එකතු වන තරමට පිරමීඩ හැඩයක් ගනිමින් මෙම ජාලය විශාල වේ. අලුත් සමාජිකයන් මෙම ව්‍යාපාරය සඳහා එකතු වීමේදී එක් එක් අදියරෙහි සාමාජිකයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑම පිරමීඩ ක්‍රමයක ඇති විශේෂ ලක්ෂණයක් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිරමීඩයේ පහළ මට්ටම්වල සිටින පුද්ගලයන් ආයෝජනය කරන මුදල ඔවුන්ට අහිමි වෙයි.

ශ්‍රී ලංකාව තුළ පිරමීඩ ක්‍රම දෙකක් දක්නට ලැබේ. විවෘත පිරමීඩ ක්‍රමය සහ නිෂ්පාදන මත පදනම් පිරමීඩ ක්‍රමය ඒවාට අයත්ය. විවෘත පිරමීඩ ක්‍රමයේදී නිෂ්පාදන මිල දී ගැනීම අවශ්‍ය නොවේ. නමුත් නිෂ්පාදන මත පදනම් පිරමීඩ ක්‍රමය බොහෝවිට ක්‍රියාත්මක වන්නේ බහුමට්ටමින් හෝ ජාල ව්‍යාපාර ක්‍රමයක් ලෙස වන අතර එහි සාමාජිකයන් ඉහළ මිලකට නිෂ්පාදනයක් මිලට ගැනීම අවශ්‍යය. මෙම ජාලය සඳහා තවත් සාමාජිකයන්ව බඳවාගැනීමට එම පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන්නේ ඔවුන් එලෙස නිෂ්පාදන මිලට ගත් පසුවය.
මෙසේ නිෂ්පාදනයක් මිලට ගැනීමේදී ඔවුන් ඇත්තවශයෙන්ම කටයුතු කරන්නේ ගැනුම්කරුවන් ලෙස නොවන අතර විකුණුම්කරුවන් ලෙසය. මන්ද ඔවුන් යම් නිෂ්පාදනයක් මිලට ගැනීමේ අරමුණ වන්නේ තවත් සාමාජිකයන් යොමු කරවාගැනීමේ අයිතිය ලබාගැනීම සඳහාය. දැනට බහුලව ක්‍රියාත්මක වන පිරමීඩ ක්‍රම බහු මට්ටමේ ව්‍යාපාර හෝ ජාල ව්‍යාපාර ක්‍රම ලෙස පෙනී සිටියි.
COVID-19 වසංගතයෙන් පසුව වාර්තා වූ පිරමීඩ වංචා
සමාජ ජාල හරහා පිරමීඩ වංචාවලට හසු වූ පුද්ගලයන් පිළිබඳව වාර්තා කිහිපයකින් පසුව එවැනි ආයතනයකින් සංවිධානය කරන ලද Zoom කොන්ෆරන්ස් එකකට සහභාගි වීමට මෙම ලිපියේ කතුවරයාට හැකි විය. නිරෝධායන නීතිවලට අනුව විශාල පිරිසක් එක්රැස් වීම සීමා කර තිබීම හේතුවෙන් රැස්වීම් පැවැත්වීම සඳහා මෙම ආයතන විසින් ඔන්ලයින් කොන්ෆරන්ස් තාක්ෂණය යොදාගැනෙන බව සඳහන්ය. මෙම කොන්ෆරන්ස් රැස්වීමේදී එම ආයතනය මගින් සිදු කරන ඉදිරිපත් කිරීම්වලට පමණක් ඇහුම්කන් දීමට සාමාජිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර ප්‍රශ්න ඇසීම සඳහා අවස්ථාව ලැබී නැත.

මෙම ඔන්ලයින් රැස්වීම සඳහා සාමාජිකයන් 80ක් සහභාගි වූ බවත් එහි “කෝ-හෝස්ට්” ලෙස කටයුතු කළ පුද්ගලයන් 5දෙනෙක්ම තමන් සෑම මසකම ලක්ෂ කිහිපයක් උපයන බවත් පැවසූ බව සඳහන්ය. ඉන් එක් පුද්ගලයෙකු මෑතකදී මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුවක් මිල දී ගත් බව සඳහන් කළා කියාද මෙහි කතුවරයා පවසයි.

තමන් එකමත් එක කාලයක දරිද්‍රතාවයෙන් පීඩා විඳි බවද තම මිතුරෙකු විසින් තමන්ට තියෙන බහු මට්ටමේ අලෙවිකරණ ආයතනයක් (MLM) හඳුන්වා දුන් පසුව තමාගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වූ බවද මෙහි හෝස්ට් ලෙස කටයුතු කළ පුද්ගලයන් විසින් සාමාජිකයන්ට අවධාරණය කර තිබේ. මූලිකවම මෙහි ඉදිරිපත් වූ හැඳින්වීම් අතරින් සියල්ලම පාහේ විස්තර කර තිබෙන්නේ අලුත් සාමාජිකයන් කිහිපදෙනෙකු බඳවාගැනීමට අමතරව වෙනත් කිසිවක් නොකර තමන් ධනවත් වූයේ කෙසේද යන්න පිළිබඳවය. එමෙන්ම මෙම ආයතනය 2007 ආයතන පනත යටතේ ලියාපදිංචි වී තිබෙන බවත් ඇතැමුන් චෝදනා කරන පරිදි නීතිවිරෝධී පිරමීඩ ක්‍රමයක් නොවන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුල් වී වතුර ෆිල්ටරයක්, අත් ඔරලෝසුවක් හෝ සූර්ය පැනලයක් මිලට ගන්නා ලෙසත් පසුව මෙම ව්‍යාපාරයට තවත් පුද්ගලයන් දෙදෙනෙකු එක් කරගන්නා ලෙසත් රැස්වීමට සහාභාගි වූ සාමාජිකයන්ට උපදෙස් දී ඇත. මිල දී ගැනීමට ආරාධනා කළ මෙම අයිතම සියල්ලම රුපියල් 50,000න් ඉහළය. කොරෝනා වෛසරය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමට පෙර මෙම බඳවාගැනීම් සිදු වී තිබෙන්නේ පෙලඹීමක් ඇති කරවනසුළු වැඩමුළු මගින් වන අතර ඒවා කාර්යාලවල හෝ මහජන ශාලාවල පැවැත්වී තිබේ.
මෙම ක්‍රමයට බැඳුණු පසුව තමන් එමගින් ඉපයූ මුදල් මගින් මිලට ගත් සුඛෝපබෝගී වාහන සහ ද්‍රව්‍ය තමා භාවිතා කරන බව මේවායේ කථිකයන් විසින් සහභාගි වන්නන්ට ස්ථිර කළ බව මෙවැනි වැඩමුළුවලට සහභාගි වූ පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් මෙහි කතුවරයාට පවසා තිබේ.
“තමන් සුඛෝපබෝගී වාහන සහ හොඳ උපාංග භාවිතා කරන බව ඔවුන් පැවසුවද වැඩමුළු සඳහා ඔවුන් පරණ කාර්වල පරණ ඇඳුම් ඇඳ පැමිණීම පුදුමයට කරුණක්. තම පවුල්වල සාමාජිකයන් සමඟ මෙම වැඩමුළුවට සහභාගි වූ දුප්පත් පුද්ගලයන්ව අපි දුටුවෙමු” කියා මීට සහභාගි වූ එක් පුද්ගලයෙක් අදහස් දැක්වීය.

පිරමීඩ ක්‍රම කඩා වැටෙන්නේ කෙසේද?
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පිරමීඩ ක්‍රම කඩා වැටීමට හේතු විය හැකි කරුණු දෙකක් තිබේ.
එක් හේතුවක් වන්නේ සීඝ්‍රයෙන් සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ නැංවිය හැකි සාමාජිකයන් මෙම පිරමීඩ තුළ සිටින්නේ සීමිත සංඛ්‍යාවක් වීමය. වෙනත් ආකාරයකින් පවසනවා නම් ඔබ මේ සඳහා පුද්ගලයන් n ප්‍රමාණයක් බඳවාගත්තොත් එම පුද්ගලයන්ද තවත් පුද්ගලයන් n ප්‍රමාණයක් බඳවාගත යුතු අතර ඉන්පසුව එසේ බැ‍ඳෙන පුද්ගලයන්ද තවත් පුද්ගලයන් n ප්‍රමාණයක් බඳවාගනියි. මෙසේ බඳ‍වාගැනීම රඳා පවතින්නේ බඳවාගන්නා n පුද්ගලයාට ඒ සඳහා තිබෙන ශක්තිය අනුවය.

මෙකී n අගය කුඩා අගයක් වුවද බැ‍ඳෙන පුද්ගලයන් ගණන පියවර කිහිපයක් ඇතුළත ඉතා විශාල අගයක් බවට පත් වේ. උදාහරණයකට n අගය 10ක් නම් පියවර 7ක් තුළදී එය මිලියන 10ක් බවට වර්ධනය වේ. නමුත් ශ්‍රී ලංකාවේ ජනගහනය සලකා බැලූ විට මෙවැනි පිරමීඩ ක්‍රමයක ඉදිරි ගමන එසේ සිදු වීම අපහසුය. මෙම මට්ටමට පැමිණි විට පිරමීඩය බිඳ වැටෙන අතර සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙක් එනම් අවසාන අදියරෙහි සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ මුදල් අහිමි වේ.

එමෙන්ම පිරමීඩ ක්‍රමයේදී නව සමෘද්ධියක් නිර්මාණය වන්නේද නැත. එහි සාමාජිකයෙකු විසින් අත්කරගන්නා සමෘද්ධියක් යනු එහිම තවත් සාමාජිකයෙක් විසින් නැති කරගත් සමෘද්ධියක්ය. මෙහිදී ඇතැම් පුද්ගලයන්ට තමන් ආයෝජනය කරන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ඉපයිය හැකි වන අතර තවත් පුද්ගලයන්ට තමන් යොදවන මුදලවත් නැවත ලැබෙන්නේ නැත. එමනිසා කිහිපදෙනෙකුට මුදල් ඉපයීම සඳහා බොහෝදෙනෙකුට මුදල් නැති කරගැනීමට සිදු වන බව කර්තෘ සඳහන් කරයි.
තම කිට්ටු මිතුරෙකු හෝ නෑදෑයෙකු විසින් මෙම පිරමීඩ ක්‍රමයට තමන්ව ඈඳාගනු ලැබූ බව පැවසූ පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ මෙම කර්තෘ අදහස් හුවමාරු කරගෙන තිබේ. යම් නිෂ්පාදනයක් මිලට ගත් පසුව මෙම ව්‍යාපාරය සඳහා තවත් පුද්ගලයන්ව ඇදගැනීම සඳහා ඔවුන්ට පුහුණුවක් ලැබී ඇත.‍ තම කිට්ටු මිතුරා හෝ නෑදෑයා විසින් තමන්ව යොමු කරගෙන තිබෙන්නේ පිරමීඩ ක්‍රමයකට බව ඔවුන් වටහාගන්නා විට ප්‍රමාද වැඩි බව ඔවුන් පවසා තිබේ.
තමා වියදම් කළ මුදල නැවත උපයාගැනීමට තමාට අවුරුදු දෙකක් ගත වූ බව මීට යොමු වූ එක් පුද්ගලයෙක් පැවසීය. මුල් ආයෝජනය සඳහා මුදල් ලබාගැනීමට තම මෝටර් සයිකලය නැවත ෆිනෑන්ස් කළ බව තවත් පුද්ගලයෙකු සඳහන් කර තිබේ. අවසානයේදී ඔහු ආයෝජනය කළ මුදල පමණක් නොව මෝටර් සයිකලයද ඔහුට අහිමි වී තිබේ. ඇතැමුන් මෙම ආයතනයෙන් ලබා දෙන නිෂ්පාදන මිලට ගැනීම සඳහා තම ඉඩම් සහ රන් භාණ්ඩ උකස් කර තිබෙන්නේ මාසයක් ඇතුළත ඒවා බේරාගැනීමට තමන්ට හැකි වනු ඇති බව විශ්වාසයෙන්ය.
“මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අයුරු ඔවුන් මට පැහැදිලි කළ විට මා සිතුවේ එය එතරම් දුෂ්කර නොවන බවය. මට තිබෙන්නේ ඔවුන්ගෙන් නිෂ්පාදනයක් මිලට ගැනීම, මෙම ව්‍යාපාරය සඳහා දෙදෙනෙකුව සම්බන්ධ කිරීම සහ මගේ අනෙකුත් වැඩ කරගෙන නිවසට වී සිටීම පමණය. මන්ද සති 4ක් ඇතුළත මට රුපියල් මිලියන 2ක් ඉපයිය හැකි බව ඔවුන් මට පෙන්වා දෙන ලදි. නමුත් මට කාරණා අවබෝධ වූ විට ප්‍රමාද වැඩිය. වර්ෂ 3ක් ගත වූ පසුවද මුල් නිෂ්පාදනය මිල දී ගැනීම සඳහා යෙදවූ මුදල නැවත උපයාගැනීමට මට නොහැකි විය. ණයට ගත් මුදලෙහි පොළිය මම තවම ගෙවමින් සිටිමි” කියා තවත් තැනැත්තෙක් අදහස් දැක්වූයේය.

නීතික පසුබිම සහ පිරමීඩ ක්‍රම තවමත් පැවතීමට හේතුව
පිරමීඩ ක්‍රම හේතුවෙන් ආර්ථිකයට සිදු විය හැකි හානිය පදනම් කරගෙන පිරමීඩ ක්‍රම ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී ඒවා බවට පත් වී තිබේ. පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා පහත දැක්වෙන කරුණු ඇතුළත් කරමින් 1988 බැංකු පනතේ අංක 30 අලුත් කර තිබේ. ඒ අනුව කිසිම පුද්ගලයෙකුට (අ) ඉහළ යන සාමාජිකයන් සංඛ්‍යාව මත රඳා පවතින (ආ) සාමාජිකයන් විසින් යොදවන මුදලෙහි ඉහළ යෑම මත රඳා පවතින ව්‍යාපාරයක් සෘජුවම හෝ වක්‍රාකාරව ඇරඹීම, ඉදිරිපත් කිරීම, එවැන්නකට අනුග්‍රහය දැක්වීම, ඒවා පිළිබඳව වෙළඳ දැන්වීම් පළ කිරීම, එවැන්නක් මෙහෙයවීම, ඒ සඳහා මුදල් වියදම් කිරීම, කළමනාකරණය කිරීම හෝ මෙහෙයවීමට අවසර නැත.

එමෙන්ම මෙම කොන්දේසිවලට යටත් නොවීම රුපියල් මිලියනයකට නොවැඩි දඩ මුදලක් ගෙවීමට සහ/හෝ අවුරුදු තුනකට නොවැඩි සිර දඬුවමක් නියම වීමට හේතු විය හැකිය. මෙම වරද සිතාමතා සිදු කර ඇත්නම් අවුරුදු 3ත් 5ත් අතර බරපතළ සිර දඬුවමක් සහ රුපියල් මිලියන දෙකක දඩ මුදලක් හෝ ව්‍යාපාරයේ සාමාජිකයන්ගෙන් ලබාගත් මුදල මෙන් දෙගුණයක් (මිලියන දෙකක දඩ මුදලට වඩා මෙම මුදල වැඩි විය හැකිය) ගෙවීමට එම පුද්ගලයා සඳහා නියම විය හැකිය.
බැංකු පනතෙහි ඉහත කී කොන්දේසි කැඩීම මුදල් වංචා වැළැක්වීම පිළිබඳ 2006 අංක 5 දරන පනතෙහි සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීම පිළිබඳ 2006 අංක 6 දරන පනතෙහි සඳහන් කර තිබෙන්නේ “නීතිවිරෝධී ක්‍රියාවක්” ලෙසින්ය.
නමුත් මෙවැනි නීති පැවතියද දශක ගණනාවක් පුරාවට පිරමීඩ ක්‍රම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වනු දැකිය හැකි වන අතර එම ආයතන කියා සිටින්නේ තමන් අවුරුදු ගණාවක් මෙම ව්‍යාපාරය සිදු කර තිබෙන බවත් එය නීත්‍යානුකූල බවත්ය.

මෙම ලිපියෙහි කර්තෘ විසින් හිටපු මහ බැංකු නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පිරමීඩ ක්‍රම නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති ප්‍රමාණවත් බවය. එමෙන්ම මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මහ බැංකුවේ වෙනම ඒකකයක් තිබෙන බවත් ඔහු පැවසීය. මෙවැනි ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව යම් අවස්ථාවලදී උත්සාහ කර තිබෙන බවද එවිට ඔවුන්ට එම ආයතන මගින් මරණ තර්ජන එල්ල වූ බවද ඔහු පවසා තිබේ.
එමෙන්ම ගම්බද ප්‍රදේශවල මෙම ආයතනවල රැස්වීම් පැවැත්වීමේදී මෙම ව්‍යාපාරය නීත්‍යානුකූල බව තම සාමාජිකයන් තුළ විශ්වාසයක් ඇති කිරීම සඳහා තම නියෝජිතයන්ව මහ බැංකුවේ නිලධාරීන් ලෙස ඔවුන් හඳුන්වා දී තිබෙන බවද ඔහු පවසා තිබේ.

තමන් රැවටුණු බවට පැවසීමට තිබෙන ලැජ්ජාව හේතුවෙන් මීට ගොදුරු වූ බොහෝදෙනෙකු මුනිවත රකින බව සඳහන්ය. පිරමීඩයේ පහත කොටසේ සිටින පුද්ගලයන් පාඩු සිදු කරගෙන ව්‍යාපාරයෙන් ඉවත් වන අතරේ තමන් උවදුරකට හසු වන බව නොදන්නා අලුත් සාමාජිකයන් ඊට එක් වන බව කර්තෘ සඳහන් කරයි.
එපමණක්ද නොව මෙම පිරමීඩ ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා එම ආයතන මගින් රජයේ නිලධාරීන්ව යොදාගන්නා බවද ඔවුන් මේ සඳහා යම් පක්ෂයන්ට දායකත්වය ලබා දෙන බවද මෙහි කර්තෘ පවසයි.

හොංකොංහි ආයෝජකයන් ලක්ෂ ගණනක්ව නොමඟ යවා තිබෙන බවට චෝදනා එල්ල වූ MLM ආයතනයකට අත්සන් කිරීම හේතුවෙන් ඉන්දියාවේ සයිබරාබාද් පොලිසියේ මූල්‍ය අපරාධ අංශය විසින් ශාරුක්ඛාන්, බෝමාන් ඉරානි සහ අනික් කපූර් වෙත පෙබරවාරි මාසයේදී අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. එම නගරය තුළ මිනිසුන්ව නොමඟ යැවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එම ආයතනය සමඟ කටයුතු කළ පුද්ගලයන් 60දෙනෙකුට වඩා වැඩි පිරිසක්ව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එකී ආයතනයම ශ්‍රී ලංකාව තුළද දශක කිහිපයක් පුරාවට ක්‍රියාත්මක වන බව සඳහන්ය. මෙම ආයතනයට සම්බන්ධ පිරමීඩ ක්‍රම 3ක් පිළිබඳව 2017දී මහ බැංකුව සහ රහස් පොලීසිය විසින් විමර්ෂණ අරඹා තිබෙන බවත් එහි ප්‍රතිඵල පිළිබඳව මේ වන තෙක් නොදන්නා බවත් කර්තෘ පවසයි.

මෙම පිරමීඩ ක්‍රමයට හසු වූ පුද්ගලයන් සමඟ කතා කරන විට කර්තෘ වටහාගෙන තිබෙන්නේ ඉක්මනින් මුදල් සෙවීමට කෑදර වූ බොරු මිතුරන් මගින් ඔවුන් රැවටීමකට ලක් වී ඇති බවය. එමනිසා උත්සාහයකින් තොරව මිලියන ගණනක් මුදල් ඉපයිය හැකි අයුරු ඔබේ මිතුරෙක් ‍හෝ නෑදෑයෙකු ඔබට පවසන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතන්න. ඔබ සතුව තිබෙන මුදල පමණක් නොව ජීවිත කාලය පුරාවට ඔබ අත්පත් කරගෙන තිබෙන සියල්ල ඔබට අහිමි වී යා හැකි බව කර්තෘ පවසයි.

(“සිලෝන් ටුඩේ” පුවත්පතට මෙත්මලී දිසානායක විසින් පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්.දහනායක