මැද පෙරදිග රටක් වන ලෙබනනයේ අගනුවර බේරූට්හි ඊයේ සිදුවූ පිපිරීම මේ වනවිට ජාත්‍යන්තර මාධය තුළ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබෙයි.
එරට වේලාවෙන් සවස 6ට පමණ බේරූට් වරායේ  සිදුවූ මෙම පිපිරීම නිසා මියගිය ගණන 78 ක් ලෙස දැනට ගණන් බලා ඇති අතර එම සංඛ්‍යාව ඉහළයා හැකි බව වාර්තා වී ඇත. තුවාල ලද 4000 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබේ.
වරායේ රාජසන්තක භාණ්ඩ තැන්පත් කර ඇති ගබඩාවේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් පමණ මෙලෙස පුපුරා ගිය බව එක් වාර්තාවකින් දක්වා තිබුණි. එය වසර 6 ක් තිස්සේ
තිබූ පැරණි තොගයක් බවද කියැවුණි. පුපුරායාමට ඉඩ ඇති ද්‍රව්‍යයක් වසර හයක් තිස්සේ අනාරක්ෂිතව ගබඩාවක තිබීම පිළිගත නොහැකි බව අගමැති හසන් ඩයබ් පැවසීය. මේ අතර වරාය අසළ රතිඤ්ඤා කම්හලක් පුපුරාගිය බවට පළවූ වාර්තා අගමැති ප්‍රතික්ෂේප කර තිබුණි.
බේරූට් වරාය අසල ඇති වූ පිපිරීම වීඩියෝ ගතවී ජාත්‍යන්තර මාධ්‍ය තුළ පළවූයේ පරමාණු බෝම්බයක පිපිරිමක් ආකාරයටය. ලෙබනන් අගනුවර රික්ටර් මාපක 3.3 ක භූමිකම්පාවක් ලෙස එය සටහන් වී ඇත. විශාල හතු වලාකුළු හැඩැති කම්පන තරංගයක් එහිදී නිකුත් විය. වරාය අසළ රථවාහන උඩුබැලි අතට පෙරැළී ගිය අතර දුර බැහැර ගොඩනැගිලි වලට හානි සිදු විය.

සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි සයිප්‍රසය දක්වා කම්පනය දැනුණි.
පිපිරීම ආසන්න ගොඩනැගිලිවල සිටි විශාල පිරිසක් මේවනවිට අතුරුදන්ව ඇත. මියගිය ගණන 78 ලෙස දළ වශයෙන් ගණන් බලා ඇති මුත් සුන්බුන් වලින් තවමත් සිරුරු ඇද ගන්නා බැවින් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව දිගටම ඉහළ යනු ඇත.
නිරන්තරයෙන්ම දේශපාලන අස්ථාවරභාවයකින් පෙළෙන ලෙබනනයේ හිටපු අගමැතිවරයකුගේ ඝාතන සිද්ධිය පිළිබඳ නඩු විභාගයේ තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව තිබී ඇති අතර එය රටම උනන්දුවෙන් බලා සිටින තීන්දුවකි. ඒ අව්අස්සේ සිදුවූ පිපිරීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි දැන් සැක මතු කර තිබේ.
ගිනි නිවන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ආරම්භක ගින්න නිවා දැමීමට උත්සාහ කළහ.  තුවාල ලැබූවන් අගනුවර වීදි හරහා ගමන් කරන අයුරු වීඩියෝවල දැක්විණි. ගිලන්රථ, කාර් සහ හමුදා වාහන තුවාලකරුවන්ගෙන් පිරී තිබේ.
ගින්න නිවන්නට යාමේදී අවම වශයෙන් ගිනි නිවන භටයන් 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බව නගර ආණ්ඩුකාර මර්වාන් අබූඩ් පවසා තිබේ.
"මගේ ජීවිතයේදී මම මේ පරිමාණයෙන් විනාශය දැකලා නැහැ," අබූඩ් පැවසීය. "මෙය ජාතික ව්‍යසනයකි."

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ පිපිරීමෙන් අවම වශයෙන් එක් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් ඇති බවත් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල ගොඩනැගිල්ල “සැලකිය යුතු ලෙස අඩපණ වී ඇති” බවත්ය.

බේරූට් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය පිපිරුම සිදු වූ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියේ පිපිරීමෙන් මුදා හරින විෂ වායූන් පිළිබඳ වාර්තා හේතුවෙන් “ගෘහස්ථව රැඳී සිට මුහුණු ආවරණ පැළඳිය යුතු” බවයි.
මෙම පිපිරීමෙන් ලෙබනනයේ ජනාධිපතිගේ නිල නිවස, හිටපු අගමැති සාද් හරිරිගේ මූලස්ථානය සහ බේරූට් නගරයේ පිහිටි සීඑන්එන් කාර්යාංශය ඇතුළු නගරය පුරා ගොඩනැගිලි වලට හානි සිදුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ද ප්‍රකාශයක් නිකුත් කළ අතර සාමාන්‍ය පිපිරීමක් බවට නොහැගෙන බවත් එය යම් ප්‍රහාරයක ස්වරූපයක් හැඟවෙන බවට ආරංචි ඇති බවත්ය.
මේ වනවිට බේරුට්හි විදුලිබල පද්ධතියද ඇණහිට ඇති අතර සති දෙකක කාලයක් සඳහා රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇත.