ටියකින් ගෙල සිරකරගෙන දිවි නසාගෙන ඇති බවට සැකකරන පුද්ගලයකුගේ මළසිරුර කොටහේන අලුත් මාවතේ ගල්පල්ලිය ආසන්නයේ මෝටර් රථයක තිබී පෙරේදා (9) පස්වරුවේ සොයාගත් බව කොටහේන පොලිසිය කියයි. මෙසේ මියගොස් සිටියදී මළසිරුර හමුවී ඇත්තේ කොටහේන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ
සමාගමක ව්‍යාපෘති කළමනාකරුවකු වශයෙන් සේවය කරමින් සිටි 41 හැවිරිදි විවාහක පුද්ගලයකු බව පොලිසිය පවසයි. මොහු පෙරේදා නිවසින් පිටත්ව ඇති අතර, පස්වරු 4.30 ට පමණ මොහුගේ මෝටර් රථය මෙම ස්ථානයේ නවතා තිබෙනු දැක ඔහුගේ මිතුරකු පැමිණ බැලීමේ දී මෝටර් රථයේ පුද්ගලයන් ගමන් ගන්නා විට අල්ලා ගන්නා ආධාරකයේ පටියක් ගැටගසා එහි කොටසක ඔහු ගෙල සිරවී සිටි බවද පොලිසිය කියයි.


මිතුරා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. මොහුගේ බිරිඳ ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුම් කිහිපයක්ම ලබාගෙන තිබුණ ද එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ බව ඔහුගේ මිතුරාට දැනුම් දී ඇති අතර පසුව මිතුරා ඔහු පිළිබඳව සොයා බැලීමේ දී ගල්පල්ලිය ආසන්නයේ නවතා ඇති මෙම මෝටර් රථය සොයාගෙන ඇත. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීද සියදිවි නසා ගැනීමට තැත්කර ඇති බව පවුලේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවද පොලිසිය කියයි.

මොහු මෝටර් රථයේ පිටුපස ආසනයේ දී ඉදිරිපස ආධාරකයේ පටියකින් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට දැනට සිදුකළ පරීක්ෂණ අනුව සැකකරන බවද පොලිසිය පවසයි.මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි. කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රශාන්ත් සිල්වා මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන්  පරීක්ෂණ පැවැත්වේ.


-ඉන්දිකා රාමනායක-