මීට කලකට ඉහත මහමැතිවරණ වලදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගකාරී අපේක්ෂකයින් ලෙස කරළියේ එළිපිට රැඟූ අයුරු අපට මතකය. නමුත් මෙවර එසේ වූයේ නැත. කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂෙත්‍රයේ බොහෝ අය එලිපිට මෙන්ම සැඟවී මෙවර මහමැතිවරණ අපේක්ෂකයින්ට උදව් කර තිබුණි.
ජාතික කණ්ඩායම නියෝජනය කළ තවමත් සංචිතයේ සිටින,  ළහිරු තිරිමාන්න, දසුන් ශානක, ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා පසුගිය මහමැතිවරනයේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් වෙහෙසවූහ. ඔවුන් කාලය ගතකළේ හම්බන්තොටය.
 උදිත ලොකු බණ්ඩාර වෙනුවෙන්
දේශපාලනය කරන්න‍ට ක්‍රීඩක චාමර කපුගෙදර හා කළමණාකරු ඈෂ් අසංග එක්වූ නමුත් මෙවර ලොකු බණ්ඩාර පරාදවී ගියේය.
මේ අතර මෙවර කොළඹ දිස්ත්‍රික් අසුන යංතමින් රැකගත් සුසිල් ප්‍රේමජයන්ත වෙනුවෙන් හිටපු පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සහාය දැක්වූ අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම ගැන සාක්ෂි ඇතැයි කියා පසුව එය මතකනෑ කිම නිසා ප්‍රකට වූ සනත් බණ්ඩාර ජයසුන්දරද සුසිල්ට වැඩ කළේය.


නුවර එළියේ මුත්තයියා ප්‍රභාකරන් වෙනුවෙන් ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙවර දේශපාලන වේදිකාවට පැමිණියේය. ඔහුට ආ අවස්ථාව සහෝදරයාට ලබාදුන් බව කියා තිබුණි.

කෙසේ වෙතත් මහමැතිවරණයේදී ප්‍රභාකරන්ට එරෙහි චෝදනා කීපයක් ප්‍රතිමල්ලවයන් විසින් දමා ගසනු ලැබූ බව ප්‍රාදේශීය වාර්තා සඳහන් කළේය. මුත්තයියා ප්‍රභාකරන් සහෝදරයාගේ අවස්ථාව පාවිච්චි කරන් ආ අහිංසක ව්‍යාපාරිකයෙක් ලෙස මහා සමාජයට පෙනී සිටියත් උඩරට එතනෝල් ව්‍යාපාරයේ ප්‍රධානියෙක් ලෙස ඔහුට චෝදනා එල්ල කර තිබුණි. ඔහුට මනාප අඩුවන්නට එය හේතුවූ බව කියැවිණි.

වරක් මුරලි සිය හිතවතා වූ සනත් ජයසූරිය හා ක්‍රීඩක දිරිගන්වන්නෙකු ලෙස ලෝක  ප්‍රකට ගයාන් සේනානායක කැටුව සොයුරාගේ මැතිවරණ ව්‍යාපාරයට එක් වූ නමුත් ඔවුන් නොසිතූ සිද්ධියකට මුහුණදී තිබුණි. ජීවන් තොණ්ඩමන්ගේ ගෝලයන් පිරිසක් වටකර හූ කියා ඔවුන්ව පළවා හැරී බව කියැවිණි.
ප්‍රභාකරන් අවසානයේ මැතිවරණය පරාජයට පත් විය.

පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයා වූ තිලකරත්න ඩිල්ෂාන් කට වචනය විශ්වාස කර 'අලුත් ඉනිමක්' ගොඩනගන්නට මුලින් කළුතර තෝරාගෙන පසුව ගාල්ල තෝරාගෙන මැතිවරණ ප්‍රචාරණයටද සූදානම්වූ නමුත් ඒ ඒ ප්‍රදේශවල අනෙක් තරගකරුවන් ඔහු එනවාට වැඩි කැමැත්තක් නොදැක්වීම නිසා විසිවිය.

අවසානයේ ඔහුට ජාතික ලැයිස්තුවේ නම ලබාදුන්නේ ගෞරවාන්විත සමුදීමකටය. නමුත් මැතිවරණ සමයේ ඔහු සක්‍රීය දේශපාලනයක නිරත නොවීය. ටෙලි නිළි බිරිය හා දරුවන් සමග ඔහු ඕස්ට්‍රේලියාවේ කාලය ගත කළේය. ජාතික ලැයිස්තුවෙන් හෝ අවසානයේ ඔහුට අවස්ථාවක් නොලැබ ගියේය. ඔහු පසුව ප්‍රකාශ කළේ තමා ජාතික ලැයිස්තුවෙන් ඉවත්වූ බවයි.


පාකිස්තානයට වර්ල්ඩ් කප් ගෙනා ඉම්රාන් කාන් ඒ රටේ අගමැති වෙද්දී ලංකාවට වර්ල්ඩ් කප් ගෙනා අර්ජුන රණතුංග මෙවර එක්සත් ජාතික පක්ෂයෙ පරාජයත් සමග දේශපාලනයෙන් ඈත්වීමට සිදුවීම දෛවෝපගතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අල්ලාගෙන සිටින තිලංග සුමතිපාල මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබීමද එවැනිම පසුබෑමකි.

 ආන්දෝලනයට ලක්වූ ක්‍රිකට් පාවාදීම සම්බන්ධව ප්‍රකාශ කළ මහින්දානන්ද අලුත්ගමගේට ක්‍රීඩාවෙන් පාඩුවක් වූයේ නැත. ඔහු පාර්ලිමේන්තුවට ඉහළින්ම තේරී පත්ව ඇත.