ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නම් කරන්නැයි දැනුම් දී තිබියදී මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව එම මන්ත්‍රී ධුරය සඳහා තමන්ගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිසමට ලිපියක් ලියා යැවූ අපේ ජනබල පක්ෂයේ මහලේකම් හිමිගේ කපටි හැසිරීම දැඩිව හෙළා දකිනවා යැයි අපේ ජන බල පක්ෂ සභාපති
සමන් පෙරේරා මහතා ඊයේ (09) පැවසිය. ඔහු මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි සද්ධර්මරාජිකා විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය.

අපි මහමැතිවරණයට ඉදිරිපත් වුණේම ඥානසාර හිමියන් පාර්ලිමේන්තු යැවිය යුතුයි කියන තීරණයේ සිටයි. ඒක තමයි අපේ මධ්‍යම කාරක සභාවේ තීරණය. අපිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිව ඇති බව දැනගත් වහාම මම අපේ පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමිට කතා කරලා කිව්වා ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිසමට යවන්න ඕන. ඉක්මනින් මධ්‍යම කාරක සභාව රැස්කරන්න කියලා. ඒත් එදා දවසේම ඒක කළේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ තමන්ගේ නම මන්ත්‍රී ධුරය සඳහා නම් කර මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකරලා. මේ ගැන දැනගත් පසු අපි උන්වහන්සේට කතා කරන්න උත්සාහ කළත් දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. හමුවීමට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. අපිව මගහැරියා. මේ කපටි හැසිරීම අපි හෙළා දකිනවා.


මම සභාපති ලෙස මට ඇති බලතල භාවිත කර මධ්‍යම කාරක සභාව රැස්කර තවත් මහලේකම්වරයකු පත් කරගත්තා. ඒ වගේම අපි තීරණය කළා ඥානසාර හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පත් කරන්න. උන්වහන්සේ නම් කිරීමේදී නීතිමය ගැටලුවක් තිබෙනවා. ජාතික ලැයිස්තුවෙන් පත් කළ හැක්කේ ජාතික ලැයිස්තුව ලෙස ඉදිරිපත් කර තිබෙන ලේඛනයේ සිටින කෙනෙක් හෝ මැතිවරණයට තරඟ කර පරාජය වුණ කෙනෙක් පමණයි.

එහෙත් අපි කුරුණෑගලට ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුව ප්‍රතිෂ්ප වුණ නිසා ඥාණසාර හිමියෝ මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙක් වන්නේ නැහැ. එහෙත් එම ප්‍රතිපාදන වලට යටත්ව වෙනත් අයෙක් තාවකාලිකව පත්කර එම මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඥාණසාර හිමි පත් කිරීමට පනතේ ප්‍රතිපාදන තිබෙනවා. අපි එලෙස කටයුතු කර කෙසේ හෝ ජනතාවට පොරොන්දු වූ පරිදි ජනතාව බලාපොරොත්තු වන පරිදි ඉතා කෙටි කලකින් ඥානසාර හිමියෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරනවා.

එහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට සමන් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය :- හිටපු මහලේකම්වරයා තමන් වහන්සේගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙන තත්වයක් තුළ ඔබට වෙනත් අයෙක් නම් කරන්න බලයක් නැහැ නේද?

පිළිතුර: එහෙම ගැටලුවක් නැහැ. උන්වහසේ මහලේකම් වුණත් මධ්‍යම කාරක සභාවේ තීරණය තමයි වැදගත් වෙන්නේ . ඒ නිසා මධ්‍යම කාරක සභාවේ තීරණය අපි මැතිවරණ කොමිසමට දැනුම් දෙනවා. ඒක තමයි නීත්‍යනුකූල වන්නේ.


ප්‍රශ්නය : රතන හිමිගේ පාර්ශ්වයත් උන්වහන්සේ පාර්ලිමේන්තු යවන්න ඕන කියලා කියනවා නේද?

පිළිතුර: රතන හිමියෝ මේ මැතිවරණයට තරඟ කළ එක් අපේක්ෂකයෙක් පමණයි. වැදගත් වන්නේ උන්වහන්සේගේ පාර්ශවය කියන දේවල් නෙවෙයි. අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්ත තීරණයයි.

- මුදිතා දයානන්ද -