මෙවර මහ මැතිවරණයේදී “අපේ ජන බල පක්ෂයට” හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය කා හට ලබාදෙනවා ද යන්න තවමත් එම පක්ෂය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී නැත.
කෙසේ වුවද “අපේ ජන බල පක්ෂයට” හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි අතර
ගැටුමක් ඇතිවී තිබෙන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් යන අතර එම ගැටුමට විසඳුමක් ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ අපේක්ෂකයින් අතුරින් වැඩිම මනාප ලබාගෙන ඇති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ගේ නම යෝජනා වී ඇති බවත් පක්ෂයේ නියෝජිතයෙකු පැවසීය.

තවත් යෝජනාවක් වී ඇත්තේ මන්ත්‍රී ධූරය දැරිය හැකි වසර ගණන සමානව බෙදා ඉහත හිමිවරුන් තුන් නමම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සුදුසු බවයි.

“අපේ ජන බල පක්ෂයේ” අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ අවසන් තීරණය අගෝස්තු 09 වන ඉරිදා මැතිවරණ කොමිසමට දැනුම් දීමට නියමිත බවයි.

මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල සංවිධානය වී මැතිවරණයට තරඟ කළ “අපේ ජන බල පක්ෂයේ” දිවයිනෙන්ම ඡන්ද 67,000 ක් පමණ ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් වෙන්විය. කොළඹ, කළුතර, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක වලට එම පක්ෂයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පසුබිමක එය සැලකිය යුතු ජයග්‍රහණයකි.
 එම පක්ෂයට ලැබුණු වැඩිම ඡන්ද ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිමිවූ අතර එය ඡන්ද 21,000 කි. ඒ අතුරින් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මනාප 16,000කට වඩා ලබාගෙන තිබේ.