ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියා නිව් සවුත් වේල්ස් ක්‍රිකට් සමාජයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.
වත්මන් නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ෆිල් ජැක් කටයුතු කරන අතර, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඇන්ඩ්‍රෙ ඇඩම්ස් සහ දඟපන්දු යවන පුහුණුකරු ඇන්තනී ක්ලාක් කටයුතු කරයි.

කෙසේ වෙතත් පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ මයිකල් යාඩ් ඉන් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ස්ථානයට මෙලෙස හතුරුසිංහ පත්කර තිබේ.

"නිව් සවුත් වේල්ස්හි කොටස්කරුවෙකු විම මම සේවය කර ඇති හොඳම සේවා පරිසරයන්ගෙන් එකක්.” යැයි හතුරුසිංහ නව පත්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

මීට ඉහතදී නිව් සවුත් වේල්ස්හි සහාය පුහුණුකරුවෙකු ලෙස මෙන්ම වැඩබලන, පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇති හතුරුසිංහ වැඩිදුරටත් පවසනුයේ, ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව තමන්ට අත්දැකීම් ඇති බවත්, එය බිලූස් (නිව් සවුත් වේල්ස්) වෙත , රැගෙන ඒමට බලාපොරොත්තු වන බවත්ය.
"වැදගත්ම කරුණ නම් සෑම විටම නිව් සවුත් වේල්ස්හි දක්ෂතා තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයන් සිටීමයි. මම අවසන් වරට කටයුතු කළ කාලයේ මයිකල් ලොක්, බ්‍රැඩ් හැඩින් සහ ෂේන් වොට්සන් වැනි විශිෂ්ට ක්‍රීඩකයන් හිටියා, පසුකාලීනව ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් වැනි තරුණ ක්‍රීඩකයන් එක්වූවා. ඒ වගේම පීටර් නෙවිල්, මොයිසස් හෙන්රික්ස් වැන්නවුන්ද ඉහළ දක්ෂයෝ.

ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කිරීම් පිළිබඳ මගේ ක්‍රමවේදයන් ගැන මට විශාල විශ්වාසයක් තිබෙනවා. එම අත්දැකීම බ්ලුස් වෙත රැගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා.”යැයි හතුරුසිංහ පවසයි.

(විශ්ව මුදියන්සේ)