'කොවිඩ්-19' හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යප්තියත් සමඟ ජනතාව ආණ්ඩු කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම ලොව රටවල ආණ්ඩු දැඩි පරිශ්‍රයක් ගනිමින් සිටින අතර මිලියන ගණනක් ජනතාව මත පනවා තිබෙන ලොක්ඩවුන් සීමා හේතුවෙන් ආර්ථිකය කඩා වැටෙමින් තිබේ. 
විශේෂයෙන්ම ලොව ධනවත්ම රටවල් හයක ආණ්ඩු කෙරෙහි  ජනතාව තැබූ විශ්වාසය බිඳී ඇතැයි එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත. ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ජපානය, ස්වීඩනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ  දැනට වාර්තා වන ගණනට වඩා වැඩි යැයි ද එම රටවල  ජනතාව විශ්වාස කරති. එම සෑම රටකම දහස බැගින් තෝරාගෙන මෙම අධ්‍යයනය සිදු කර තිබේ.

මෙම අධ්‍යයනය කර ඇත්තේ ලෝ ප්‍රකට සන්නිවේදන උපායමාර්ග සහ උපදේශන කණ්ඩායමක් වන "කෙක්ස්ට් සී.  එන්.සී" ආයතනයයි. “මේ මාසය සැලකිල්ලට ගැනීමේ දී ලොව බොහෝ රටවල ජාතික ආණ්ඩුවට ලැබෙන සහයෝගය අඩු වෙලා" යැයි "කෙක්ස්ට් සී.එන්.සී" ආයතනය සිය වාර්තාව නිකුත් කරමින් සඳහන් කරයි. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ නව කොරෝනා වයිරසය පාලනය නොකළ බවට දැඩි ලෙස විවේචනයට ලක්වූ ලෝක නායකයෙකි. ඔහුට වයිරසය ආසාදනය වී ඇතැයි ජූලි 7 වැනිදා තහවුරු විය. ඉන් පසු තවදුරටත් ඔහුට වයිරසය තිබෙන බව දෙවතාවකදී 'කොවිඩ්-19' පරික්ෂණවලින් තහවුරු විය. කෙසේ නමුත් තවදුරටත් ඔහුට වයිරසය නැතැයි සෙනසුරාදා කළ පරික්ෂණයෙන් වාර්තා විය. “තමන්ට ඇත්තේ පුංචි උණක්” යැයි බරපතළකම නොසලකා හරිමින් බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය. වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබියදී ද බ්‍රසීල ජනාධිපතිවරයා යතුරු පදින අයුරුත් ජනාධිපති මන්දිරයේ මුරකරුවන් සමඟ මුඛ ආවරණ නොපැළඳ කතා කරන අයුරුත් දක්නට ලැබිණි.

ලොව බොහෝ රටවලින් නැවත වරක් වයිරසය පැතිර යෑමට පටන් ගෙන තිබෙන අතර ආසියාවේ රටවල් රැසකින්ම වයිරස ආසාධිත නව පොකුරු වාර්තා වෙමින් තිබේ. දකුණු කොරියාවෙත් මාස හතරකට පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ පෙරේදා (25) එනම් සෙනසුරාදා  වාර්තා විය. වියට්නාමයෙන් දින 100කට පසු පළමු වරට ප්‍රජා ව්‍යාප්තියක් වාර්තා විය. නව ආසාදිතයන් වාර්තා වීමත් සමග චීනයේ වරාය නගරයක් වන දලියන් හි වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා නව පියවර ගන්නා බව එරට බලධාරිහු ප්‍රකාශ කළහ. එම නගරයේ ජීවත් වන පිරිස මිලියන 6කට ආසන්න වේ.