දේශපාලනඥ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය නිසා මේ දිනවල වතුකරයේ වැඩකටයුතු ඇණහිට තිබේ. ප්‍රසිද්ධ වතු කම්කරු නායකයෙකුවීම නිසා මෙන්ම ලංකාවේ ඉහළ බල අධිකාරිය සමග සමීප සබඳතා පවත්වන්නෙකු වීම නිසා තොණ්ඩමන්ගේ ජීවිත සමුගැන්ම දේශපාලන ලෝකය තුළද පෙරළියක් ඇති කර තිබේ. ඔහු මියයන්නට පැය කිහිපයකට පෙර
අවසන් වරට මුණගැසී තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂවයි. එහිදී කම්කරුවවන් 1000 වැටුප සම්බන්ධ ප්‍රශ්නය කථා කළ බව අගමැතිවරයා පසුව කීවේය.

තිදරු පියෙකුවූ තොණ්ඩමන් මහතාගේ දියණියන් දෙන්නෙකුම වෛද්‍යවරුන්ය. එක් දියණියක වන නචියර් මැලේසියාවේත් අනෙක් දියණිය විජී චෙන්නායිහිත් වෛද්‍ය ශිල්පය හදාරා ඇත. තොණ්ඩමන්ගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසෙන්නට සූදානම් වන පුතු ජීවන් බැරිස්ටර් වරයෙකි.

හදිසියේ නිවසේ ඇදවැටීමෙන් පසු පෙරේදා (26) වැනිදා පස්වරු 8.30ට පමණ තලංගම රජයේ රෝහලට ගෙන එනවිට  තොණ්ඩමන් මහතා මියගොස් සිටි අතර පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (27) තලංගම දකුණ හදිසි මරණ පරික්ෂක ඒ.ඒ.එල් ප්‍රේමලතා මහත්මිය ඉදිරියේ තලංගම රජයේ රෝහලේදී පැවැත්විණි.

 එහීදී ජීවන් තොන්ඩමන් මහතා සාක්කි දෙමින් මෙසේ කීය. මගේ පවුලේ මව්පියන් සමග අක්කලා දෙදෙනෙක් සහ මමත් සමග පස්දෙනෙක් ඉන්නවා. මගේ තාත්තාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. සිද්ධිය වුණ දින රාත්‍රි 8ට පමණ  තාත්තා ඇග හෝදගෙන ඇවිත් රාත්‍රී ආහාර. ගනිමින් රූපවාහීනිය නරඹමින් සිටියා. එම අවස්ථාවේ මා සමගින් කතාකරමින් සිටින විට තාත්තට එකවරම සිහිනැති වුණා. මම පැනලා තාත්තා අල්ල ගත්තා. මමත් අක්කත් මගේ රියදුරුත් සමග වාහනයක දාගෙන තලංගම රෝහලට ඇතුළත් කළා. ඒ මොහොතේම වෛද්‍යවරු පරීක්ෂා කරලා තාත්තා මිය ගොස් ඇති බවට පැවසුවා. මගේ තාත්තගේ මරණය පිළිබඳව කිසිම සැකයක් නැහැ. ලේ කැටියක් සිරවීම නිසා හෘදයාබාධයකින් සිදුවූ හදිසි මරණයක් බවට මම පිළිගන්නවා.


   එහීදී සාක්ෂි දුන් ඔහුගේ දියණිය වන විජයලක්ෂ්මී තොණ්ඩමන් මහත්මිය මෙසේ කිවාය. තාත්තාට කිසිම අසනීපයක් මීට පෙරම තිබුණේ නැහැ. සිද්ධිය වෙන අවස්ථාවේ මම සිටියේ නාන කාමරයේ මට හයියෙන් කෑ ගහන ශබ්දයක් ඇහුණා. මම එළියට එන විට මම දැක්කා මල්ලි තාත්තා අල්ලගෙන ඉන්නවා. ඒ අවස්ථාවේ තාත්තට සිහී නැතිව හිටියේ. මමත් මල්ලිත් අපේ රියදුරු සමග මෝටර් රථයක දාගෙන තාත්තා තලංගම රජයේ රෝහලට ඇතුළත් කළා. එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කර බලා තාත්තා මියගොස් ඇති බව පැවසුවා.

පශ්චාත් මර්ශණ පරික්ෂණය පැවැත්වූ තලංගම රජයේ රෝහල් වෛද්‍ය එම්.ඒ අසේල මෙන්ඩිස් මහතා වෙද්‍ය වාර්තාව අනුව දකුණු හෘද ධමනියේ ලේ කැටියක් සිරවීමෙන් ඇතිවූ ස්වභාවික මරණයක් බවට තලංගම දකුණු හදිසි මරණ පරික්ෂක ඒ.එල්.ඒ. ප්‍රේමලතා මහත්මීය තීන්දු කළාය.