සුගියදා බේරාගන්නට ආ දෙදරු පියෙකුට මරු කැඳවමින් තලවකැලේදී සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණිය සම්බන්ධ වැඩි විස්තර මේ වනවිට අනාවරණයවී තිබේ.
තලවකැලේ ප්‍රදේශයේ 23 හැවිරිදි හින්දු ජාතික තිරුචෙල්වම් ශ්‍රියාණි නමැති තරුණිය බේරා ගැනීමට මුලින්ම ජලාශයට පැන්න තලවකැලේ, ලිඳුල, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන්
නමැති 28 හැවිරිදි දෙදරු පියාගේ සිරුර ජලාශයේ තිබී ඉකුත් 21 වැනි දින පස්වරුවේ සොයාගෙන තිබුණි.
ඇයව මුල් අවස්ථාවේ බේරාගන්නට බැරිව ගිය පසු දෙවන වර ඇයව බේරාගන්නට වතුරට බැස්සේ තලවාකැලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතාය.
මෙම තරුණිය තවත් තරුණයෙකු හා විවාහ වන්නට අදහසින් පෙම් සබඳතාවයක් පවත්වා තිබූ බවත් පසුව දෙමාපියන් එයට විරුද්ධවී ඇයට යෝජනා විවාහයක් සිදු කරන්නට උත්සාහ දැරීමෙන් පසු ඇගේ පෙම්වතා  දිවිනසාගෙන තිබූ බවත් සැලවිය. පෙම්වතාගේ අවසන් කටයුතු 21 දින නානුඔය ප්‍රදේශයේදී සිදු කරන්නට සූදානම්ව තිබූ අතර ‍එම දිනයේ මෙම තරුණියද  ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කර තිබුණි.
එය බලා සිටි හමීඩ් රිස්වාන් නමැති තරුණයා ඇය බේරාගන්නට දැරූ ප්‍රයත්නය අසාර්ථකවී වතුර පෙවී මරණයට පත්වීම අවාසනාවන්ත සිද්ධියකි.
“මගේ පෞද්ගලික හේතුවක් නිසා මම ගත්තේ හදිසි තීරණයක්. ඒ නිසා ජීවිතයක් නැති වුණා. ඒකට මට සමාවෙන්න. මම ඉස්පිරිතාලෙන් පිටවෙලා ගිය හැටියේ ඒ දරු පවුල ගැන බලනවා…වතුරෙදි මම එයාගේ අතින් අල්ල ගත්තා. ඊට පස්සේ අපි දෙන්නම දිය යටට ගියා. මාව උඩට මතු වුණා. එයා උඩට ආවේ නෑ. කවුරු හරි මාව ටියුබ් එකකට දාගත්තා මතකයි. ඒ කවුද දැන ගත්තේ දැන් තමයි. ඒ මාව බේරාගත්තේ තලවකැලේ ඕ.අයි. සී. මහත්තයා. ඒ හැමෝටම ස්තූතියි…” ඇය පවසා තිබේ.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත. මියගිය තැනැත්තා වෘත්තියෙන් මේසන් බාස් කෙනෙකි.

ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම මතින් සිද්ධියවූ දිනයේ උදෑසන 10ට පමණ තරුණියක ජලාශයට වැටී ඇති බව දැනගත් ඒ අවට පදිංචිකරුවන් පාලම මතට එක්රැස් වී කෑගැසුවද ඇය බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැත.
ඒ අවස්ථාවේ අසල නිවෙසක් ඉදිකරමින් සිටි පිරිසක් කෑගැසුම් හඬ ඇසී පාලම මතට දිවැවිත් ඇති අතර එහිදී පාලම මත රැඳී සිටි සියලු දෙනා ඇය බේරා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇත.
ඒ අතර සිටි තලවකැලේ, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමීඩ් රිස්වාන් දෙවරක් නොසිතා ජලාශයට පැන ඒ වන විටත් දියේ ගිලෙමින් සිටි තරුණිය වෙත පිහිනා ගොස් ඇත.

පාලම මත සිටි පිරිසක් හමීඩ් රිස්වාන්ට ආධාරකයක් වශයෙන් ලණුවක්ද ලබාදී තිබිණි. රිස්වාන් එය දියේ ගිලෙමින් සිටි තරුණියට දිගු කළද ඇයට එකවරම එය අල්ලා ගැනීමට නොහැකි විය. එනිසා රිස්වාන් ඇගේ කොණ්ඩයෙන් අල්ලා ගැනීමට උත්සාහ කළේය. එවර දෙදෙනාම එකවර දියේ ගිලිණි. ටිකකින් ශ්‍රියාණි පමණක් දියෙන් උඩට මතු වූවාය.
ඇය ජලාශයට වැටෙන විට පැලඳ සිටි ජැකට්ටුව නිසා ඇය දියෙන් උඩට මතුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.
සිද්ධිය සැල වී තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා තම නිල ඇඳුමේ කමිසය ගලවා තබා තලවකැලේ පොලිසියේ තවත් පොලිස් නිලධාරියකුගේ සහයෝගය ලැබ හුළං පිරවූ ටියුබයක සහ ලණුවක ආධාරයෙන් ශ්‍රියාණි වෙත ළඟා වී ඇය ටියුබය මත නංවා ඇති අතර ගොඩබිමේ සිටි පොලිස් නිලධාරීන් ලණුව ඇද ඇය ගොඩට ගෙන ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
රුවන් ප්‍රනාන්දු මහතා  කියා සිටියේ, සිද්ධිය සැල වී තමන් ජලාශය අසලට යන විට අවට 400 දෙනකු පමණ සිටි බවත් ඇය බේරා ගැනීමට යෑමට පෙර තරුණයන් කිහිපදෙනකු ජලාශයට බැස තිබුණද ඔවුන් කිසිවකු ඇය බේරා ගැනීමට ඉදිරිපත් නොවූ නිසා තමන් ඉදිරිපත්වූ බවයි.
මගේ ගම බණ්ඩාරවෙල. මමත් දරුවන් සිවුදෙනකුගේ පියෙක්. මහජනතාව සහ මහජන දේපළ ආරක්ෂා කර ගැනීමට බැඳී සිටින පොලිස් නිලධාරියෙක් ඔහු කියා සිටියේය.
තරුණිය බේරා ගැනීමට ජලාශයට පැන මියගිය හමීඩ් රිස්වාන්ගෙ මව වන නිල්මිණි කුමාරි මෙසේ කියා සිටියාය.
“මම බෞද්ධ. මගේ සැමියා මුස්ලිම් ආගමේ. ඔහුගේ නම එච්.කේ. හාබ්ඩීන්. එයාට අවුරුදු 60යි. අපි දෙන්නම නුවරඑළියේ. අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දෙවැනි පුතා තමයි නැති වුණේ. නැති වුණු පුතා අපේ ගෙවල් ළඟම වෙනත් ගෙයක් හදාගෙන පදිංචි වෙලා හිටියේ. ඔහුට අවුරුදු 12ක් වයසැති පාසල් වයසේ පසුවන දුවකුයි අවුරුදු 9 වයස පුතකුයි ඉන්නවා.

පුතා මේසන් වැඩ කරලා තමයි පවුල රැක්කේ. පුතාට පුළුවන් විදියට මටයි එයාගේ තාත්තාටයි සැලකුවා. මගේ පුතා නැති වුණු එක අපේ පවුලට ලොකු පාඩුවක්. පුතාගේ ළමයි දෙන්නාගේ අනාගතය ගැන දැන් අපට ලොකු ගැටලුවක් තියෙනවා. කාටවත් හිරිහැරයක් නොකර ජීවත් වුණු අපිට ඇයි මෙහෙම දෙයක් වුණේ? පුතා නැති වුණේ වීරයෙක් වගේ. ඒත් දෙයියනේ මගේ පුතා මට නැති වුණා” ඇය කඳුළු සැලුවාය.

තොරතුරු - නෝර්වුඩ් නීටා පත්ම කුමාරි