නිවස පිටුපස ළිඳට වැටී වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු ඊයේ (21) මිය ගොස් ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය කියයි. මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ උතුර විජය  මාවතේ කේ.ඒ. දහම් සංහිඳ යන දරුවාය.
අනතුර වන අවස්ථාවේ මව  මුළුතැන්ගෙයි සිට එම දරුවාට බත් කවමින් සිට ඇති අතර දරුවා වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ  හෙයින් දරුවාගේ කලිසම ගලවා තබා ඇතැයි විමර්ශනවල දී හෙළි වූ බව පොලීසිය කියයි. මද වේලාවකින් කිසියම් ශබ්දයක් ඇසී දරුවාගේ මව මුළුතැන්ගෙයින් පිටතට පැමිණ සොයා බැලීමේ දී දරුවා පෙනෙන්නට නොසිටි අතර ළිද  උඩට දමා තිබෙන දැල් ආවරණයේ කොටසක් කැඩී තිබෙන අයුරු දැක එය ඉවතට විසි කර ළිද තුළ බලා  ඇතත් කිසිවකුත් එම ගැඹුරු හෙයින ළිඳට බැස නොමැති බව විමර්ෂණ වලදී අනාවරණය වූ බව  පොලීසිය කියයි.

ළිං ඉසීම කටයුතුවල යෙදෙන  පුද්ගලයකුට ඒ බව සැලවීමත් සමගම  වහා එම ස්ථානයට පැමිණි අවස්ථා දෙකක දී ළිඳට බැසීමට උත්සාහ කිරීමේදී විෂ වායුව ආඝ්‍රාහණය වීම හේතුවෙන් ඔහු නැවත ගොඩට පැමිණ මද වේලාවක දී නැවත ළිඳට බැස දැඩි ආයාසයක් දරා දරුවා ගොඩට ගෙන තිබිණි. පසුව ඔහු 1990 සුවසැරිය ගිලන් රථයෙන් පිළියන්දල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි පොලිස් නිලධාරියා කීය.

මියගිය දරුවා ළිඳ අසල සිමෙන්තියෙන් තනා තිබු අඩි 3 ක් පමණි උස කුඩා ටැංකියේ බැම්ම මතට නැග අනතුරුව ළිඳ ආවරණයට යොදා තිබෙන දැල මතට පය තැබීමේ දී එක වරම දැල කඩාගෙන ළිදට වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දරුවා ළිදෙන් ගොඩ ගන්නා විට විනාඩි 40කට ආසන්න කාලයක් ගත වී තිබූ බව පොලීස් නිලධාරියෙක්  වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළ සිරුර මෙන්ම එම ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමෙන් අනතුරුව මළසිරුර කලුබෝවිල මෘත ශරිරාගාරයේ තැන්පත් කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක කොඩිතුවක්කු. පොලිස් කොස්තාපල් 38960 ප්‍රනාන්දු යන මහත්වරු පරික්ෂණ පවත්වයි.

(බිමන් ශ්‍යාමන් ජයසිංහ)