තීතයේදී ලොවේ පැවැත්ම උදෙසා මිනිස් ශ්‍රමය අතිවැදගත් ස්ථානයක් ඉසිලුවද අඩු මිනිස් ශ්‍රමයකින් සහ වැඩි කාර්යක්ෂ්මතාවයකින් වැඩ කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ රැසක් නවීන දින බිහි වී තිබේ. කෙසේනමුත් නව තාක්ෂණික උපකරණ බිහි වීම රඳා පවතින්නේ මිනිසුන්‍ තම පරිකල්පන ශක්තිය භාවිත කිරී‍ම හෝ නොකිරීම මතය.
අනාගත තාක්ෂණික යුගයක් කරා පියාසලන අවකාශයේ
ඉදිරියෙන් සිටින්නේ තරුණ පරම්පරාවය. Covid-19 වසංගතය අතරතුර සෞඛ්‍ය අංශයට සහාය වීම උදෙසා ‘ආයුබෝ’ ලෙස නම් කරන ලද රොබෝ යන්ත්‍රයක් නි‍පදවූ පමුදිත ප්‍රේමචන්ද්‍ර නම් තරුණයාද එවැන්නෙක්ය.
පමුදිත තම පාසැල් කාලය අතරතුර තමන් විසින් අරඹන ලද තාක්ෂණික ව්‍යාපෘතියක ඉවසිලිවන්තව නියුතුව සිටියේය. නමුත් නව කොරෝනා වෛරසය හේතුවෙන් උදා වූ හදිසි තත්ත්වය නිසා ඔහුගේ නව නිපැයුම කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය ඔහුට වැටහිණ. රෝග 200ක් පිළිබඳව තිබෙන දැනුම පදනම් කරගෙන සෞඛ්‍ය සහාය සැපයීමේ හැකියාව ‘ආයුබෝ’ සතුය. රෝග හඳුනාගැනීමට ආයුබෝ සමත් නොවන අතර ඊට හැකියාව තිබෙන්නේ සෞඛ්‍ය උපදෙස් සැපයීමට පමණය.
“ආයුබෝට හඳුනාගැනීමේ හැකියාව නැත. නමුත් ඊට දැනුම තිබේ. නමුත් රෝග හඳුනාගැනීමේ පද්ධතියක් නිපදවීමද අරඹා තිබේ. එය නිපදවූ පසුව රෝග ලක්ෂණ පැවසූ විට රෝගය හඳුනාගැනීමේ හැකියාව එයට ලැබේව් (‍තොරතුරු ඇතුළත් කරන ලද රෝග).” ශරීරයේ උෂ්ණත්වය මැනිය හැකි උෂ්ණත්වමානයක් වැනි විශේෂාංගයක් දැනට මෙම පද්ධතියට ඇතුළත් කර නොමැති බවත් එවැන්නක් වැඩි දියුණු කිරීම දැනටමත් අරඹා තිබෙන බවත් පමුදිත පැවසීය.
මෙම පද්ධතිය තුළ ක්‍රියාත්මක වන න්‍යාය පැහැදිලි කරමින් ප්‍රමුදිත පැවසුවේ, “ආයුබෝව වෛද්‍යවරයෙක් සමඟ සසඳන්න මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වෙන්නේ ආයුබෝ වෛද්‍යවරයා සමඟ වැඩ කරන යමක් බවට පත් කිරීමයි” ඔහු පවසයි. කෘත්‍රිම බුද්ධිය ඇතුළත් මෙම උපකරණයට වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව සංකීර්ණ තොරතුරු ඇතුළත් කිරීමට තමාට අවශ්‍ය නොවූ බවත් ඒ වෙනුවට තමාට අවශ්‍ය වූයේ එය සාමාන්‍ය දැනුමට සීමා කිරීම පමණක් බවත් පමුදිත පවසයි.

මෙම රොබෝ යන්ත්‍රය සතුව පරිශීලක මාදිලි දෙකක් තිබෙන අතර (user mode) උද්ගත වී තිබෙන වසංගත තත්ත්වය යටතේ ඉන් එක් පරිශීලක මාදිලියක් ප්‍රයෝජනයට ගත හැකිය. එය නම් රොබෝ යන්ත්‍රය විසින් රෝගීන්ව තනිව හමු වීමේ මාදිලියය. මෙම මාදිලිය නිසා පුද්ගලයන්ට ‍රොබෝ යන්ත්‍රය සමඟ සෘජුවම අදහස් හුවමාරු කරගත හැකිය. තම රෝගී තත්වය පිළිබඳ තොරතුරු රොබෝ යන්ත්‍රයෙන් ඇසීමට පුද්ගලයන්ට අවස්ථාව හිමි වන අතර පිළිතුරු ලෙස රොබෝ යන්ත්‍රය විසින් සෞඛ්‍ය උපදෙස් සහ තොරතුරු ලබා දෙනු ලබයි. පරිශීලක (user) විසින් වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටී නම් රොබෝ යන්ත්‍රය විසින් එම පුද්ගලයාව වෛද්‍යවරයෙකුට යොමු කරයි.

අනෙකුත් මාදිලිය උපකාරවත් වන්නේ Covid-19 වැනි තත්ත්වයකදී වෛද්‍යවරයාට රෝගියා සමඟ අදහස් හුවමාරු කරගැනීමටය. ආසාදිත පුද්ගලයා අසලට යෑමේ අවශ්‍යතාවය මෙමගින් මගහරවාගත හැකිය.
රොබෝ යන්ත්‍රය වෙනම කාමරයකට යැවිය හැකි අතර අන්තර්ජාලය හරහා පාලනය කළ හැකිය. වීඩියෝ ප්‍රතිචාරයක් ලබාගැනීම සහ ලබා දීමේ හැකියාව මෙහි සවි කරන ලද කැමරාව සතු වන නිසා වෛද්‍යවරයා සහ රෝගියා අතර සන්නිවේදනය කිරීමට එය උපකාරවත් වේ.

නමුත් තමාගෙම දැක්ම ඔස්සේ පමණක් මෙම රොබෝ යන්ත්‍රය වැඩිදියුණු නොකර වෛද්‍යවරුන්ට තිබෙන තවත් අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා ඉටු කරමින් සෞඛ්‍ය සේවකයන්ට හැකි සියලුම ප්‍රයෝජන අත්කර දෙන ලෙස මෙම රොබෝ යන්ත්‍රය වැඩිදියුණු කිරීම පමුදිතගේ අරමුණය.
මෙම රොබෝ යන්ත්‍රයට නම ලැබුණේ කෙසේද කියා ඔබ සිතනවා නම් එයට නම ලැබුණේ මෙසේය. ‘ආයුබෝවන්’ සහ ‘රොබෝ’ යන වචන එක් කර ‘ආයුබෝ’ යන නම (Ayubowan+Robot=Ayubot) තබන ලදි. ආයුබෝවන් යනු ආයුෂ බොහෝ වේවා කියා අප ප්‍රාර්ථනා කරන සම්ප්‍රදායික ක්‍රමයය. ‘ආයුබෝ’ නම් රොබෝ යන්ත්‍රය විසින් මිනිසුන්ට යහපත් සෞඛ්‍යයක් ළඟා කරගෙන වැඩි කල් ජීවත් වීමට, එනම් බොහෝ ආයුෂ ලබාගැනීමට උපකාර කරයි.
මෙම නිපැයුම ඉදිරිපත් කිරීමට පෙර 20 හැවිරිදි පමුදිතට කරන්නට තව බොහෝ ‍දෑ ඉතුරුව තිබුණි. නමුත් ඇඳිරි නීතිය අතරේ ඔහු රජයෙන් උපකාර ලබාගත්තේය.

ආයුබෝහි භාවිතය විධිමත් කිරීම උදෙසා ඔහු දැනට අදාළ රාජ්‍ය අංශ සම්බන්ධ කරගනී. “මෙම රොබෝ යන්ත්‍රය තවමත් දියුණු කරමින් පවතියි. ඒත් රාජ්‍ය අංශ සම්බන්ධ කරගන්නේ Covid-19 නිසා උද්ගත වී තිබෙන තත්වයේදී මට සහාය ලබා දිය හැකි ආකාරයක් තිබේද කියා දැනගැනීමටය. තවත් මෘදුකාංග වැඩිදියුණු කිරීම් කිහිපයක් ඉතිරි වී තිබෙයි. ඇතුළත් කළ යුතු සහ වැඩිදියුණු කළ යුතු අංග මොනවාද කියා අප හමු වූ විට තීරණය කරනවා” පමුදිත පවසයි.

කුඩා කල සිට රොබෝවරුන් ඇතුළත් චිත්‍රපට නැරඹූ පමුදිතට රොබෝවරුන්ගේ ලෝකය අලුත් අද්දැකීමක් නොවේ. අවුරුදු 6ක් තරම් කුඩා ව‍යසේදී ඔහු එම චිත්‍රපට නරඹා තම සෙල්ලම් කාරයට ලයිට් සවි කළ හැටි සිහි කරයි. තමා කතා කරන විට එම විදුලි බුබුළු දැල්වෙන සේ සැකසූ ඔහු සිහිපත් කරන්නේ එම විදුලි බුබුළු දැල්වෙද්දී සෙල්ලම් කාරය තමාට කතා කරන්නා සේ සිතූ බවය. එම කාලයේ සිට තම සිතෙහි ඇති වූ තදබල ආශාවන් යථාර්ථයක් බවට පත් කිරීමට කාලය යෙදවූ ඔහු නිර්මාණකරණයේ යෙදුණි. රොබෝ තාක්ෂණය පිළිබඳව ඔහු බොහෝ පොත් පත් කියවා ඇති අතර YouTube වීඩියෝ නැරඹීමෙන්ද දැනුම ළඟා කරගෙන තිබේ. “මෙම දක්ෂතාවය මම දියුණු කරගත්තේ මගේම උත්සාහයෙන්. ඒත් මට උදව් කළ ගුරුවරුන්ද සිටියා” පමුදිත අදහස් දැක්වීය.

තම දක්ෂතාවය දුටු එම ගුරුවරු තමාට උපකාර කිරීමට ඉදිරිපත් වූ බවද බොහෝ මිතුරන් ඔහුට උපකාර කළ බවද ඔහු සිහිපත් කරයි. විවිධ ප්‍රදර්ශනවලට තම නිර්මාණ ඉදිරිපත් කිරීමටද විවිධ තරඟාවලි සඳහා ඉදිරිපත් වීමටද ඔවුන් ඔහුට උනන්දු කර තිබේ. වරක් පාසැල නියෝජනය කරමින් සහභාගි වූ තරඟාවලියකින් පමුදිත මුල් ස්ථානය දිනාගැනීමට සමත් විය. ඔහු ප්‍රදර්ශනවලට ඉදිරිපත් කර තිබෙන රොබෝවරුන් අතරට ඇවිදින සුනඛ රොබෝ යන්ත්‍රයක්, අතුගාන රොබෝ යන්ත්‍රයක් ආදිය ඇතුළත් වන අතර ඇතැම් රොබෝවරුන් කිසියම් අරමුණක් උදෙසා නිර්මාණය කරන ලද ඒවා නොවුණද ඒවා රොබෝ යන්ත්‍ර විය.

දක්ෂතා දියුණු කරගැනීමට මෙම නිපැයුම් පමුදිතට උපකාරවත් වී තිබේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට තමා සුදුසුකම් අත් කරගත්තොත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ඔහු බලාපොරොත්තු වේ.
තම ඉල්ලීම්වලට ප්‍රතිචාරය දක්වන යන්ත්‍රයක් නිපදවීමට උපන් ආශාව පෙරදැරි කරගෙන ඔහු වයස අවුරුදු 14දී තම ප්‍රථම මාදුකාංග වැඩසටහනද අවුරුද්දකින් පසුව එම මෘදුකාංග වැඩසටහන ඇතුළත් කර තම ප්‍රථම කතා කරන රොබෝ යන්ත්‍රයද නිපදවීය. එම යන්ත්‍රයට නම් තැබුවේ, ‘නෙක්ස්ට්බෝ’ ලෙසින්ය.
ස්ව-උත්සාහයෙන් ඉගෙනගත් මෙම තරුණයා නිතරම කටයුතු කළේ දැක්මක් සහ මෙහෙවරක් සිතෙහි පෙරදැරි කරගෙනය. ඔහුගේ අරමුණ වූයේ ‍රොබෝ තාක්ෂණික කර්මාන්තයට අතහිත දීමය. “මට අවශ්‍ය වුණේ රොබෝ කාර්මික ක්ෂේත්‍රයේ යම් වෙනසක් සිදු කිරීමටය. එමනිසා මම 2017දී මං ව්‍යාපෘතියක් ආරම්භ කළා. 2018දී ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කරන රොබෝ යන්ත්‍රයක් නිපදවූවා. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණ නිසා සිංහල භාෂාවත් කතා කරන්න පුළුවන් වෙන්න එම රොබෝ යන්ත්‍රය වැඩිදියුණු කිරීමට මම අදහස් කළා” කියා ඔහු ප්‍රකාශ කරන ලදි. 2020දී ආයුබෝ නමින් මෙලොව එළිය දුටුවේ එකී සඳහන් කළ රොබෝ යන්ත්‍රයේම වැඩිදියුණු කරන ලද සංස්කරණයක්ය.

මෙවැනි රොබෝවරුන් නිෂ්පාදනය කිරීම සඳහා අධික ප්‍රාග්ධනයක් වැය කිරීමට සිදු වන බව බොහෝදෙනාගේ මතයය. නමුත් පමුදිත මේ පිළිබඳව දැක්වූයේ වෙනස්ම අදහසක්ය. “මිනිස්සු හුඟක් වේලාවට කියන්නේ හැම දෙයකටම මුදල් අවශ්‍යයි කියාය. නමුත් දක්ෂතා තිබීමේ අවශ්‍යතාවය පිළිබඳව කතාබහ කරන්නේ ඉතා අඩුවෙන්. ඇත්තටම මුදලට වඩා අවශ්‍ය වන්නේ දක්ෂතාවයයි‍. රොබෝ යන්ත්‍ර නිපදවීමට ආරම්භ කළ දින සිට මට අවශ්‍ය වූයේ ඒ සඳහා ඉවතලන කොටස් යොදාගැනීමටය. මං සෑම රොබෝ යන්ත්‍රයක්ම නිපදෙව්වේ එවැනි දේවලින්. මේ වගේ රොබෝ යන්ත්‍ර සඳහා පමණයි මට සුළු මුදලක් වැය වූයේ.” ඔහු විසින් නිපදවන ලද රොබෝ යන්ත්‍රයේ පෙනුම ඉතා හොඳින් පවතින බැවින් ඒ සඳහා ඔහුට විශාල ප්‍රාග්ධනයක් වැය වන්නට ඇතැයි බොහෝ පුද්ගලයන් නිගමනය කරන බව ඔහු පැවසීය.

අඬුව කැඩුණු නිසා ඔබ ප්ලාස්ටික් බාල්දියක් විසි කර තිබිය හැකිය. එමෙන්ම ක්‍රියාත්මක නොවන ඔබේ ඉලෙක්ට්‍රෝනික උපාංගද ඔබ ඕනෑ තරම් ඉවත දමා තිබිය හැකිය. එවැනි දෑ ප්‍රයෝජනයක් නැතැයි ඔබ සිතුවද අඩි 3ක් සහ අඟල් 9ක් වන, කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක් සහිත මෙම ජීවිතාරක්ෂක රොබෝ යන්ත්‍රය නිපදවීම සඳහා එවැනි දෑ යොදාගෙන තිබෙන බව ඔහු පවසයි. “මෙහි ශරීරය නිපදවීමට යොදාගත්තේ පැරණි ප්ලාස්ටික් බාල්දිය. හිස නිර්මාණය කිරීමට වෙළඳ දැන්වීම් පුවරු යොදාගන්නා ලදි. ඒ සඳහා අපේ ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලෙන් ඉවත් කර තිබුණු ඒවායි මම රැගෙන ආවේ. පතුලේ ඇති ත්‍රිකෝණාකාර හැඩැති දෙය නිර්මාණය කිරීමට යොදාගත්තේ ඉදි කිරීම් බිමකින් ඉවත දැමූ කපන ලද ඇලුමිනියම් කැබලි. තොරතුරු දිස් වීම සඳහා පිටුපස තිබෙන තිරය සකස් කළේ මගේ මිතුරෙක් ඉවත දමන්න සිතාගෙන සිටි ටැබ් එකකින්.” ඔහුට අවශ්‍ය වූ අමතර අමුද්‍රව්‍ය වෙනුවෙන් වැය වූයේ රුපියල් 20,000කට නොඅඩු මුදලක්ය.

“මට අවශ්‍ය වන්නේ මාගේ නිර්මාණ ඇසුරින් යම් සේවයක් ඉටු කිරීමටය. වෙනත් කර්මාන්ත සඳහාද උපකාරවත් විය හැකි තවත් බොහෝ රොබෝ යන්ත්‍ර නිපදවීම මාගේ දැක්මය. ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් රොබෝ යන්ත්‍ර ආනයනය කිරීම වෙනුවට ශ්‍රී ලංකාව තුළ රොබෝ යන්ත්‍ර නිපදවීමේ කර්මාන්තයක් ආරම්භ කිරීම මගේ අරමුණය. මටත් වඩා දක්ෂ බොහෝ පුද්ගලයෝ සිටිනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය උපකාර නොලැබෙන බැවින් ඔවුන් විදේශගත වෙනවා. නැත්නම් ඔවුන්ගෙන් එවැනි සේවයක් අවශ්‍ය නොවන නිසා ඔවුන් වෙනත් රැකියාවල නිරත වෙනවා” කියා පමුදිත පවසයි. ශ්‍රී ලංකාව තුළ රොබෝ තාක්ෂණ ශිල්පය දියුණු කිරීම සඳහා එවැනි පුද්ගලයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමද ජාත්‍යයන්තර ප්‍රමිතීන්ට එකඟව රට තුළම එවැනි නිර්මාණ සිදු කළ හැකි බව ඒත්තුගැන්වීමද ඔහුගේ අරමුණය.
රොබෝ නිර්මාණ ශිල්පයේ යෙදෙන අතරතුර මදක් සංගීතයට දෙසවන් විවර කර මානසික විඩාව නිවාගැනීමටද පමුදිත අමතක නොකරයි. කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ කටයුතු කිරීමේදී හොඳින් කල්පනා ශක්තිය මෙහෙයවිය යුතු බැවින් විඩාබර මනසට විවේකයක් ලබාගැනීම අවශ්‍යය. එසේ කිරීම මඟින් වඩාත් කාර්යක්ෂ්මව තම නිර්මාණ කටයුතු සිදු කළ හැකි බව ඔහුගේ අදහසය.

“මට අවශ්‍ය වන්නේ මගේ රොබෝ යන්ත්‍රය නිකම්ම තාක්ෂණික උපකරණයක් බවට පත් කිරීම නොවෙයි. මං මේ රොබෝ යන්ත්‍රයේ පෙනුම සැකසීමට විශාල කාලයක් සහ පරිශ්‍රමයක් දැරුවා. එමනිසා මෙහි කලාවක් තිබෙන ලෙස සකස් කිරීමයි මගේ අරමුණ. මෙහි මෘදුකාංගය භාවිත කිරීම සඳහාද බොත්තම් වැනි දේ ඇතුළත් කිරීමටත් මම කැමතියි. මං හැම වෙලේම අවධානය යොමු කරනවා මෙවැනි නිර්මාණ දුටු විට කුඩා දරුවන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද කියා. ඔවුන් ගොඩක් පුදුම වෙනවා මං දකිනවා.” ප්‍රදර්ශනයකට ඉදිරිපත් කර තිබූ අවස්ථාවකදී තමා විසින් නිර්මාණය කරන ලද රොබෝ යන්ත්‍රය සමඟ අදහස් හුවමාරු කරගැනීමට 4 ශ්‍රේණිය සිසුන් පිරිසකට අවස්ථාව ලැබුණු විට ඔවුන් විස්මයට පත් වූ අයුරු පමුදිත සිහිපත් කරයි. තම ගෙදරවැඩ කර දිය හැකිද කියා එයින් ඇසීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර රොබෝ යන්ත්‍රය විසින් ළමා ගීයක් ගායනා කරන අයුරුද ඔවුන්ට රස විඳිය හැකි විය. රොබෝ යන්ත්‍රයට කුමනාකාර හැඟීම් ඇත්දැයි දැනගැනීමට ඔවුන් තුළ කුතුහලයක් ඇති විය.

රොබෝ යන්ත්‍රයක් නිපදවීමේදී වැදගත් වන්නේ එය තවත් එක් තාක්ෂණික උපකරණයක් ලෙස නොව තමාට සමීප සහායකයෙකු ලෙස මිනිසුන්ට හැ‍ඟෙන පරිද්දෙන් එය නිෂ්පාදනය කිරීමය.

(දිල්හානි පලුගස්වැව විසින් Ceylon Today වෙත පළ කරන ලද ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[May22, 2020 - Gossiplankanews.com]