සුගියදා ලන්ඩනයේ හිත්‍රො ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික පිරිස නිරෝධායනයට යාමට ප්‍රථම ගුවන් තොටුපළේදී කලහකළ බවට පැතිර ගිය ආරංචි සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු කිහිපයක්ම ලැබී ඇත.
මෙම කලහකාරී තත්වය ඇති කරන ලද්දේ
ඇමතිවරයෙකුගේ පුතෙකු විසින් බවට එක් පැත්තකින් කරුණු වාර්තාවූ අතර තවත් පැත්තකින් කියැවුනේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දරුවෙකු කලහ කළ බවයි. කබ්රාල් මහතා එම ආරංචිය ප්‍රතික්ෂේප කර තිබුණි. පෙර කී ඇමති පුතා කවුදැයි යන්න ගැනද කිසිවෙකු අදහස් දක්වා තිබුනේ නැත.

කෙසේ වෙතත් සිදුවූ දෙය කුමක්දැයි හෙළිකරමින් මේ ගමනට සම්බන්ධවී දැනට නිරෝධායනය ‍වෙමින් සිටින කිහිප දෙනෙකු මුහුණු පොත ඔස්සේ සිදුවීම ගැන පැහැදිලි කිරීම් කර තිබේ.

එම ආරංචි අනුව කටුනායකට ගොඩ බැස්ස පිරිසට සිංහලෙන් පැවසූ උපදෙස් ඉංග්‍රීසියෙන් කියැන්නැයි පළවූ ආරංචිය ගොතා පළකරන ලද්දක් බව හඳුනාගන්නට ලැබේ. එසේම එතැන 'කලහයක්' ලෙස සැලකිය හැකි විශේෂ දෙයක් සිදුව නැති අතර කිසියම් කාරනාවක් ගැන යම් පිරිසක් කලබලවී ප්‍රශ්න කරන ලද අවස්ථාවක් පමණක් වාර්තාවී ඇතිවා සේම එම ගැටලුව නිරාකරණයෙන් පසු පිරිස විසිර ගොස් ඇති බව හඳුනාගන්නට ලැබේ.

එම ගැටලුව වී ඇත්තේ නිරෝධායනය පිණිස මීගමුවේ ජෙට්වින් හෝටලයට යාමට කැමැත්ත දැක්වූ නමුත් එහි ඉඩකඩ සීමිතවීම නිසා වස්කඩුව සිට්‍රස්  හා මීගමුවේ ඩොල්ෆින් හෝටල වලට යන්නට සිදුවී එයට අකමැත්ත පළ කළ කිහිපදෙනෙකු නිසාය. කටුනායකට ආසන්නයේම පිහිටි ජෙට්වින් හෝටලයට යාම වැඩි දෙනාට පහසුවක් වූ අතර කළුතර වස්කඩුවේ සිට්‍රස් වෙත යාම දුර නිසා තරමක දුෂ්කරතාවකි.

ලන්ඩනයේ සිට යානය පිටත්වන්නටත් පෙර සිටම පෝරම වල පුරවා අදාළ හොටල වල නිරෝධායනය විය හැකි බවට පිරිසට අවස්තාව සලසා තිබී ඇති අතර එසේ ලියාපදිංචිවී අදාළ හෝටලයට යාමට කල් ඇතිව සූදාම්ව සිටි පිරිසෙන් කොටසකට අවස්ථාව අහිමිවී ඇති බව දැනුම් දී ඇත්තේ කටුනායකට පැමිණි පසුය.


මෙයට හේතුවී ඇත්තේ රජයේ පෝරමයට එතෙරදී හෝටලයේ නම දෙනවාට අමතරව විදේශයේ සිට ලංකාවේ හෝටල අමතා එහි කාමර වෙන් කරගන්නට ඇතැමුන් කටයුතු කිරීමය. මේ නිසා එලෙස නම් දුන් අයට  ප්‍රමුඛතාවය දීමට හෝටල් බලධාරීන් කටයුතු කර ඇති අතර ඉතිරිවූ කාමර ගණන සැලකීමේදී ඉල්ලුමට සරිලන පරිදි කාමර සපයන්නට අවකාශ නැති බව දැනුම් දී ඇත.
 ඒ නිසා මීගමුවේම ඩොල්ෆින් හෝටලය හෝ වස්කඩුවේ සිට්‍රස් වෙත යාමේ විකල්ප වෙත යාමට ඔවුනට සිදුව ඇත. කලහය ලෙස හඳුන්වා ඇත්තේ 'ඇයි අපට පොරොන්දු වෙච්ච හෝටලේ දෙන්න බැරි' යනුවෙන් මේ ගැන කළ සංවාදයන්ය. සාකච්ඡා කිරීමෙන් පසු මෙම ගැටලු නිරාකරණයවී ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම ගැන විවිධ ආකාරයෙන් තවත් වැරදි ආරංචි පැතිර තිබූ අතර ඒ සියල්ල ගොනු කොට ලන්ඩනයේ සිට පැමිණ දැනට නිරෝධායනය වෙමින් සිටින වෛද්‍ය දීපාල් ජයමාන්න සිය මුහුණු පොත ඔස්සේ විස්තරයක් කර තිබුනේ පහත පරිදිය.

[May06, 2020 - Gossiplankanews.com]