ඉන්දියාවේ බෙංගාලූර්හි සොරුන් දෙදෙනෙකු අල්ලා ගැනීමෙන් පසුව පොලිසියේ 24 දෙනෙකු නිරෝධායනය කිරීමේ පුවතක් වාර්තා වී ඇත. නිරෝධායනය යටතේ සිටින පුද්ගලයින් 24 දෙනා අතර පොලිස් උප පරීක්ෂකවරයෙක් සහ හෙබගොඩි දුම්රිය ස්ථානයේ සහකාර උප පරීක්ෂකද ඇතුළත් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙබගොඩි පොලිසියේ රඳවා සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක වීම හේතුවෙන්  පොලිස් නිලධාරීන් 24 දෙනෙකු මෙසේ නිරෝධායනය කර තිබේ. ඉදිකිරීම් සඳහා භාවිත කරන යකඩ ද්‍රව්‍ය සොරකම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනා පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

කොවිඩ් 19 සඳහා ධනාත්මක වූ මෙම පුද්ගලයන් දෙදෙනා මැයි 17 වන ඉරිදා පොලිස් භාරයට පත්ව ඇත. නමුත්  පොලිස් භාරයට ගැනීමට පෙර මහජනතාව විසින් ඔවුන්ට පහර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් ඔවුන්ට අදාලව චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා සායනික පරීක්ෂණය සඳහා රැගෙන ගොස් ඇත. පසුව අඟහරුවාදා දින ඔවුන්කොවිඩ් 19 පරීක්ෂණයට ධනාත්මක වී ඇති බව තහවුරු වී ඇත. එම වාර්තාව ලැබීමෙන් පසු, හෙබගොඩි පොලිසියට පැමිණ සිටි පොලිස් නිළධාරීන් 24 දෙනා රඳවා තබාගනිමින් නිරෝධායනයට ලක් කර ඇත.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කෝවිඩ් 19 සඳහා ධනාත්මක වූ රෝගීන් සංඛ්‍යාව 1,458 ක් බවට පත්ව තිබේ. පසුගිය බදාදා නව කොරෝනා වෛරසයට ධනාත්මක වූ රෝගීන් සංඛ්‍යාව 63 ක් ලෙස ලියාපදිංචි වීම හේතුවෙන් මෙසේ එම ප්‍රාන්තයේ මුළු වෛරස් රෝගීන් සංඛ්‍යාව 1,458 දක්වා ඉහළ ගොස් ඇත.

බෙංගාලූර්හි නාගරික, රාජ්‍ය සෞඛ්‍ය ප්‍රකාශනයට අනුව කොවිඩ් 19 ධනාත්මක අවස්ථා හා මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර දැනට වාර්තා වෙමින් පවතින රෝගීන් සංඛ්‍යාවද වර්ධනාත්මක අගයක් ගන්නා බව ඔවුන් පවසයි. නව ධනාත්මක සිද්ධීන් හතරක් බදාදා දින වාර්තා වීමත් සමඟ ප්‍රාන්ත අගනුවර තුළ කෝවිඩ් ධනාත්මක පරීක්ෂණයන්හි එකතුව 250 දක්වා ඉහළ ගොස් ඇති බවත් , ඉන් 117 ක් නිශ්චිත ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. මීට අමතරව මැන්ඩ්යාහි ධනාත්මක සිද්ධීන් 168 ක්ද, කලබර්ගි  134 ක් ද, බෙලගාවිහි ධනාත්මක සිද්ධීන් 116 ක් සහ දේවානගෙරෙවිත්හි නව කොරෝනා ධනාත්මක සිද්ධීන් 112 ක් පමණ වාර්තා වී ඇත. මෙසේ විවිධ ප්‍රදේශ වල ආසාධිතයන් වැඩි වීම හේතුවෙන් සමස්ථ ඉන්දියාවේ ආසාධිතයන් ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වන බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
(රිෂ්මි ඉෂාරා)