කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ තමාට මතුව ඇති බව කියමින් එක්තරා කාන්තාවක ඊයේ හෝමාගම ප්‍රදේශයේ සිට 119 හදිසි ඇමතුම් අංකයට දුන් දුරකථන ඇමතුමක් නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ඒ ගැන විමසිලිමත්වූ අතර 1990 ගිලන් රථයක් ඇය අමතා කියූ ස්ථානයට යොමු කර ඇය ඊයේ දිනයේ  අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබුණි. ඇය අලව්ව ප‍්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක් බවට පවසා තිබූ අතර තමා තාවකාලික ඇසුරක් සඳහා
ආරක්ෂක අංශ සාමාජිකයෙකු සමග ලැගුම් හළකට ගමන් කළ බවත් පසුව රෝග ලක්ෂණ මතුවූ බවත් ඇය පවසා තිබුණි.අලව්වේ සිට කොට්ටාවට පැමිණි ඇය එහි සිට ත්‍රී රෝද රථයකින් ලැගුම්හල වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.
ඇයට අදාළ පීසීආර් පරීක්ෂණ මේ වනවිට සිදු කරමින් පවතින නමුත් වාර්තාව තවම ලැබී නැත.

රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට මේ වනවිට බලධාරීන් කටයුතු කර තිබේ.

පෙම්වතුන් , අනියම් ඇසුරුකම් පවත්වන්නන් ගමන් කරන හෝමාගම ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හල් විවෘත කිරීමට තවම රජයෙන් අවසර ලබාදී නැති පසුබිමක ඒවා විවෘත කර ඇත්තේ කෙසේද යන්න ගැන සෞඛ්‍ය බලධාරීන් සොයා බලා තිබේ.
මේ කියන කාන්තාව පෙර කී පුද්ගලයා ඇසුරු කිරීමට එම ස්ථානයේ නතරවී ඇති අතර
20 වනදා රාත්‍රී ඇයට කැස්ස හා උණ තත්වය මතුව ඇත. මෙම පුද්ගලයා ඊයේ (21) දිනයේ අදාළ ලැගුම් හලෙන් පිටව ගොස් ඇති නමුත් පෙර කී කාන්තාව ඔහු කොහේදැයි කීමට හරිහැටි නොදන්නා බවද වාර්තා විය.

සෞඛ්‍ය නිලධාරීන් ලැගුම්හලට ගොස් එම කාමරය පරීක්ෂා  කිරීමේදී අතුරුදන් පුද්ගලයාගේ බවට සැකකළ හැකි  මල්ලක් තිබෙන අයුරු හඳුනාගෙන ඇත. එහි ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කෙරෙන ආකාරයේ ඇඳුම් කට්ටලයක්  හමුව තිබේ.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර ලැගුම්හල් විවෘත කිරීම මේ වනවිටත් නීතියෙන් තහනම් බව අදාළ ස්ථානයට දැනුම් දුන් අතර මෙම ලැගුම්හල පෙරකී කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධිව බව හඳුනාගන්නා ලදි. එහි සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගෙන තිබෙයි.
සැක සහිත රෝග ලක්‍ෂණ  සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අද (22) පෙරවරුවේ ලැබීමට නියමිතය.