වැඩිපුර ලයික්ස් ගැනීමේ ආසාවට විනෝදයට ගැටවරයෙකු සිදු කළ ක්‍රියාවක් නිසා විභාග දෙපාර්තමේන්තුව කැළඹීමට ලක් කරවූ සිද්ධියක් ඊයේ වාර්තා විය.
සමාජ මාධ්‍ය හරහා 'මෙන්න AL ටයිම් ටේබල්'කියා සංසරණය වූ උසස් පෙළ විභාග කාලසටහනේ
කිසිදු සත්‍යතාවයක් නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවැනි පෝස්ටුවක් වැඩි දෙනා අතරේ හුවමාරු කෙරෙන්නක් වන නිසා මේ දිනවල උසස් පෙළ විභාගයට සූදානම් වන අයට මෙය වැදගත් වන නිසාත් ඉතාම උපායශීලී ලෙස මෙම පෝස්ටුව නිර්මාණය කර තිබී ඇති අතර එමගින් වැරදි පණිවිඩයක් සමාජයට යැවීමට වඩා තමන්ගේ පිටු වලට ලයික් ලබාගැනීම වැදගත් යයි කල්පණා කළ අයෙකු හිතාමතාම පතුරුවා හැර ඇතැයිද යන්න විමර්ශනය වෙමින් පවතී.

විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල නිවේදන මත විශ්වාසය තබමින් පාසල් ප්‍රජාවේ සියලුම සාමාජිකයින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් සනත් බී. පුජිත මහතා ඉල්ලා සිටී.
රට තුළ පැන නැගී ඇති අභියෝගාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුළු රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු බව කොමසාරිස්වරයා පවසන අතර ඇතැම් පාර්ශවයන් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති මගින් ජනතාව නොමඟ යැවීම කණගාටුවට කරුණක් බවද ඔහු පවසා තිබේ.
අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස  විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.