COVID-19 හෙවත් ගෝලීය කොරෝනා වසංගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වු ආර්ථිකයන් වසා දැමීම හේතුවෙන් ලෝකයේ මිලියන 60ක ජනතාවක් අන්ත දරිද්‍රතාවට ඇදදැමිය හැකි බව ලෝක බැංකු සමූහයේ
සභාපති ඩේවිඩ් මැල්පස් පෙරේදා (19දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ලෝක බැංකුව 'අන්ත දරිද්‍රතාව” ලෙස අර්ථ දක්වන්නේ දිනකට එක් පුද්ගලයෙකු ඩොලර් 1,90කට වඩා (රු.360ක් පමණ) අඩු මුදලකින් ජීවත් වීමය.

මේ අතර වසංගතයේ බලපෑමට ප්‍රතිචාර දැක්වීම සඳහා රටවල් 100ක හදිසි ප්‍රතිචාර මෙහෙයුම් ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

"වර්ධනය කරා ආපසු යාමට නම්, සෞඛ්‍ය හදිසි අවස්ථා විසදීම සදහා අපගේ ඉලක්කය වේගවත්ව හා නමශීලීව ප්‍රතිචාර දැක්විය යුතුයි. දුප්පතුන් ආරක්ෂා කිරීම, පුද්ගලික අංශය නඩත්තු කිරීම සහ ආර්ථිකයක ඉක්මනින් නැගී සිටීමේ හැකියාව සහ ප්‍රකෘතිය ශක්තිමත් කිරීම සඳහා මුදල් සහ වෙනත් පුළුල් කළ හැකි ආධාර සැපයිය යුතුයි."

මේ අතර විශේෂයෙන් අප්‍රිකාවේ තර්ජනය දරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් සහ මානව හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු කොමිසමේ සභාපති සොලමන් ඩර්යෝ අනතුරු ඇඟවීය.

"මේ  සෞඛ්‍ය අර්බුදය විසින්, මහාද්වීපයේ දැනටමත් දැකිය හැකි ණය බර සහ එහි බිඳෙනසුළු ආර්ථිකයන් සමග සංචිත තවදුරටත් සිඳීමට ලක්කරනු ඇති. එසේම නව රැකියා උත්පාදනය කිරීමේ යෝජනා ක්‍රම අක්‍රිය කරනු ඇති. ඉන් නොනැවතී සමාජ සංවර්ධනයේ ලාභය සහ කාර්මිකකරණය සඳහා වන ප්‍රයත්නයන් විනාශ කිරීමටත් තර්ජනය කරනු ඇති. මේ සියලු අවසානයේදී දුගීන්, කාන්තාවන් සහ දරුවන්ද ඇතුළුව වඩාත් අවදානමට ලක් වූවන්ගේ මානව හිමිකම්වලටද විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙමින්, තවත් මිලියන ගණනක් ජනතාව අන්ත දුගීභාවයට ඇදදමනු ඇති.”  ඒ අනුව ඔවුන් COVID-19 රෝග විනිශ්චය, චිකිත්සක සහ එන්නත් සඳහා වැඩි ප්‍රවේශයක් ඉල්ලා සිටි අතර, අප්‍රිකානු රටවල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියේ එම රටවල ණය මුදල් අත්හිටුවීමක් හෝ නිදහස් කිරිමක් සිදුකරන ලෙසය.

 නව කොරෝනා වෛරස වසංගතය අප්‍රිකානු ප්‍රාන්ත 54ටම ළඟා වී ඇති අතර, අඟහරුවාදා වනවිට මහාද්වීපය පුරා පුද්ගලයන් 88,172කට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) පෙන්වා දෙයි. එමෙන්ම මහාද්වීපයේ මියගිය සංඛ්‍යාව 2,834ක් බවද OHCHR වැඩිදුරටත් පවසයි.

නරේන් විශ්වජිත්