මේ දිනවල නිරන්තරයෙන් මාධ්‍ය වෙත පැමිණ කොරෝනා ආසාදනයෙන් වැළකීම සම්බන්ධයෙන් කතාකරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රූපවාහිනී වැඩසටහන් වලදී ඉතාලියේ සිදුවන කොරෝනා මරණ හෙළා දකිමින් කතා කර ඇතැයි කියමින් ශ්‍රී ලංකාවෙන් ඉතාලියට සංක්‍රමණය වූ කාන්තාවක ෆෙස් බුක් ඔස්සේ
දැඩි දෝෂදර්ශනයක් සිදු කර තිබුණි.
මෙම කාන්තාව පවසන්නේ අජිත් රෝහණ මහතා කියන ආකාරයට වයස 50 ඉක්මවූවන්ට කොරෝනා හැදුණ පසු නොසලකා හරින විදිහක් ඉතාලියේ නැති බවත්  ට්‍රක් රථවලින් මිනී ගොඩවල් ගෙනගොස් කොක්කකින් වළවල්වලට අතාරින ක්‍රියාවලියක්ද ඉතාලියේ නැති බවත්ය.


ඉතාලිය ඉතාම මානුෂික රටක් බවට තර්ක කරන ඇය මෙය ගෝලිය වසංගත තත්වයක් බැවින් අවාසනාවන්ත තත්වයෙන් ඉතාලියට බැටකන්නට සිදුවූ බව කියා සිටී. මුලදී ඒ රට මේ රෝගය ගැන නොසැලකූ බව ඇය පිළිගන්නා නමුත් මරණ වලට අගෞරව දක්වන තරම් පිරිහී නැතැයි කියා සිටී.
ඇයගේ ප්‍රකාශයේ එක් තැනක කියා සිටින්නේ ලංකාවේ කොරෝනා ගැන පාලනයක් නැති බවයි.
පොලිසිය ඇදිරි නීතිය ඉවත් කළ විගස පිස්සු බල්ලන් මෙන් කෑම සොයාගෙන මිනිසුන් ඒකරාශීවන බවත් නිසි වගකීමක් නැතිව පොලිසිය හැසිරෙන බවත් ඇය චෝදනා කර තිබේ.තමා මියගියත් ලංකාවට මිනියවත් නොයවන බව ඇය කියා සිටී.

'අජිත් රෝහණ උඹ දැනගනිං' ආකාරයට ඉතාම කෝපාන්විත ස්වරූපයකින් මෙම කාන්තාව වචන හසුරුවමින් ඔහුට බැණ වදී.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙද්දී ඇය ලංකාව හෙළාදකින්නියක වීම ගැන හා අජිත් රෝහණ මහතා පහළට ඇදදමා කතාකිරීම ගැන විවේචන පළවිය. ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසිය කළ දැනුම් දීමක් ගැන ව්‍යාජ ලිපියක්ද හුවමාරු විය.

ඇය ගැන වැඩිදුර සොයා බැලීමේදී 40 හැවිරිදි නිසංසලා විජේතුංග නමැති පස් දරු මවක වන ඇය  ඉතාලියේ සෙවන් ලංකා නමින් ආපන ශාලාවක් පවත්වා යන බව හෙළි විය. ඇය ස්වභාවයෙන්ම කුපිතවනසුලු කාන්තාවක බව ඇය සම්බන්ධයෙන් හුවමාරුවූ තවත් වීඩියෝ කිහිපයකින් අනාවරණය විය.
මේ අතර දැඩි විවේචනයට ලක්වීමෙන් පසු ඇය ඇගේ ෆේස් බුක් පිටුවේ තිබූ සියලු වීඩියෝ ඉවත් කරගෙන තිබුණි.  අජිත් රෝහණ මහතාගෙන් මේ ගැන රූපවාහිනී වැඩසටහනකදී විමසන ලදුව ඔහු කියා සිටියේ මේ කාන්තාව කියන දේ සත්‍යයෙන් තොර බවයි. තමා ජනතාවට මෙම රෝගයේ භයානක කම පෙන්වන්නට ඉතාලිය උපුටමින් කතා කළ බවත් ඒ රට අපහාසයට ලක්කරන්නට උවමනාවක් නොවූ බවත් ඔහු කියයි. එසේම සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන ඇය අත්අඩංගුවට ගන්නට කළ නියෝගය සම්බන්ධ ලිපිය ව්‍යාජ එකක් බවද ඔහු දන්වා සිටියි.