ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල, මැදවච්චිය වැවෙහි දිය නෑමට ගොස් දියේ ගිලී මියගිය පාසල් සිසුන්
සිවුදෙනා එසේ මියයාම ගුරුවරුන්ගේ නොසලකිල්ල නිසා සිදුව ඇති බවට
චෝදනා මතුව තිබේ. ඔවුන් පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී  දියේ ගිලී හුස්ම සිරවීමෙන් මියගිය ගොස් ඇතැයි ත්‍රිකුණාමලය මහ රෝහලේදී අනාවරණය කෙරිණි.
මෙසේ මියගියේ බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන 10 ශ්‍රේණියේ සිසුන් වන දාහතර

හැවිරිදි ඩී.එම්. අනුහස් සමාධි, උමේෂ් සෙහාන්, නෙතික ගලපිටගෙදර, තරුෂ අංජන යන අයයි.

මියගිය සිසුන්ගේ ඥාතීහු පැමිණ ත්‍රිකුණාමලය මහ රෝහල් මෘත ශරීරාගාරයේදී සිරුරු හඳුනා ගැනීමෙන්
පසුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්විණි. ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය
රැචිර නදීර මහතා හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය චාමිලි අබේසේකර යන මහත්ම
මහත්මීහු මළසිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූහ.

“දරුවා අධ්‍යාපන චාරිකාවක් යනවයි කියලා බිරිය මට කතා කරලා කිව්වා. ආච්චි කියලා තිබුණා වැව්වලින් නාන්න යන්න එපා කියලා. දරුවා මේ ගමන යනවට මම කැමැති වුණේ නැහැ. දරුවාව උනන්දු කරවලා තිබුණේ පාසලේ අයයි. අපි කැමැති වුණේ නැහැ දරුවා යවන්න. නමුත් ස්වාමීන් වහන්සේ වගකීම ගන්නවා කීවා. මේ සිද්ධියේ වගකීම චාරිකාව ආව ස්වාමීන් වහන්සේයි, ගුරුවරුයි භාරගන්න ඕනේ” යැයි ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවෙහි දිය නෑමට ගොස් ගිලී මියගිය තරුෂ අංජන දරුවාගේ පියා වන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ඩබ්ලිව්.එම්. වීරසේන මහතා හැඬු­ කඳුළින් යුතුව මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවැසීය.

“මගේ දෙවැනි දරුවායි මේ මියගොස් සිටින්නේ. මගේ ස්වාමිපුරුෂයා මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරනවා. ජනවාරි පාසල් ආරම්භ කළාට පසුවයි මේ ටි්‍රප් එක සංවිධානය කළේ. පුතා‍ ගෙදරින්ආවා චාරිකාවට. මාමා රාත්‍රි 10ට කෝල් කරලා කිව්වා දරුවන්ට කරදරයක් කියලා. රාත්‍රි 10ට සිංහල සර්ට කෝල් කළාම කිව්වා වොෂ් දාලා අරගනී කියලා. ඊට පස්සේ ෆෝන් එක වැඩ කළේ නැහැ. මරණය ගැන සැකයක් නැහැ’යි මියගිය නෙතික ගලපිටගෙදර සිසුවාගේ පියා වන රුවන් ගලපිටගෙදර මහතා පැවැසීය.


ආර්.එම්. උමේෂ් ෂෙහාන් මිහිරංග දරුවාගේ පියා වන ආර්.එම්. ගාමිණි රත්නායක, “මියගියේ  වැඩිමහල්ද රුවායි. අයියගේ ගෙදරින් අයියගේ පුතයි මගේ පුතයි එකට ටි්‍රප් එක ගියේ.

අයියා කෝල් කරලා කිව්වා දරුවන්ට කරදරයක්කි යලා. පසුවයි දැනගත්තේ මගේ දරුවා මැරිලා කියලා’ යැයි පැවැසීය. අනතුරුව හදිසි මරණ පරීක්ෂකවරයා සිසුන් භාරව පැමිණි විද්‍යා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ආර්.එම්. අශෝකපාල මහතාගෙන් සාක්ෂි විමසීමේදී සිසුන් යට ඇඳුම් පිටින් දියට බහිද්දී එය වැළැක්වූයේ නැත්තේ ඇයි දැයි කළ ප්‍රශ්න කිරීම්වලදී නිහඬව සිටීම නිසා ගුරුවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණ සිදුවූ බවට නිගමනය කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිසුන් දියේ ගිලී මියගොස් ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදිර මහතා මෙහිදී තීන්දු ‍කළේය. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව සිරුරු ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.

දියේ ගිලෙමින් සිටියදී බේරාගත් සෙසු දරුවන් තිදෙනා වන දිලින මිහිරංග, ඒ.එම්. චින්තක සුදිස් හා ආර්.එම්. රනිඳු නවීන් රත්නායක යන අය ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම අනතුර සැලවීමෙන් පසුව ත්‍රිකුණාමලය මහ රෝහලට පැමිණි බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතා සිද්ධිය සැලවීමත් සමඟ මම මෙහි ආවා. මේ චාරිකාව සඳහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් අනුමැතිය අරන් ඇවිත් තියෙනවා. නමුත් අපි නොහිතපු කනගාටුදායක දෙයක් සිදුවෙලා යැයි පැවැසීය.

වාර්ෂික අධ්‍යාපන චාරිකාවකට එක්වී බස් රථ දෙකකින් මෙම පිරිස ත්‍රිකුණාමලයට පැමිණ ඇති අතර සිසුවියන් 42 දෙනකු හා සිසුන් 44 දෙනකු හා එම පාසලේ උගන්වන හිමිනමක් හා ගුරුවරුන් හත්දෙනකු මෙම චාරිකාවට එක්ව සිටි බව පොලිසිය පවසයි. 10 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුන් 86 දෙනෙක් (පිරිමි ළමයින් 44) (ගැහැනු ළමයි 42) හා ගුරුවරු 8 දෙනකුගෙන් පිරිසක් අධ්‍යාපන චාරිකාවකට සහභාගි වී සිටියහ. ඔවුන් පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල චාරිකා කිරීමෙන් පසු පෙරේදා (19දා) සවස ගෝමරන්කඩවැව සුරුලු මහ මුනියාව රජමහ විහාරයට පැමිණ එහි නතර වී තිබේ. පසුව පස්වරු හයට පමණ විහාරස්ථානය අසල ඇති මැදවච්චිය වැවට දිය නෑම සඳහා ගුරුවරුන් සමඟ සිසුන් 40ක් පමණ පැමිණ ඇත. දිය නාමින් සිටියදී ‍ඉන් සිසුන් හත් දෙනකු දියේ ගිලී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් හා යුද හමුදාව එක්ව දියේ ගිලෙමින් සිටි සිසුන් බේරා ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.


ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ බදුල්ල - සුලක්ෂ පියතිස්ස
ඇටැම්පිටිය - රත්න වීරසිංහ