වසර තුනකට ආසන්න කාලයක් විදුහල්පතිවරයකු වෙනුවෙන් පවත්වාගෙන යන පාසලක් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහාව ගම්මානයේ පිහිටා තිබේ.
එම පාසල නම් බිබිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඉහාව කනිෂ්ඨ විද්‍යාලයයි.
දැනට ඉහාව කනිෂ්ඨ විද්‍යාලයේ සිටින්නේ විදුහල්පතිවරයා පමණි. ශිෂ්‍යයන්
එක් අයකු හෝ නැත. විදුහල්පතිවරයා උදේපැමිණ පොත අත්සන්කොට දහවල් 2.00ට පමණ ආපසු නිවස කරා යයි.

පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳව විදුහල්පති බේබිපාල රණබාහු මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.

"ඉහාව කනිෂ්ඨ විද්‍යාලය මීට දශක හතරකට පමණ ඉහතදී මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ජනප්‍රිය මෙන්ම උසස් ප්‍රතිඵල ලබාදුන් පාසලක්. අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවති මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන්සීයයකට අධික පිරිසක් 1990 වසර වන විට ඉගෙනුම ලබා තිබෙනවා.

1990 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යා විෂයෙන් උසස්ම ප්‍රතිපල ලබාගෙන තිබෙන්නේ මෙම පාසලයි. පාසල ආරම්භ කර තිබෙන්නේ එවකට ඉහාව පුරාණ රජමහ විහාරයේ විහාරාධිපති ධුරය හෙබවූ තැරෑලේ සරණංකර නායක හාමදුරුවෝ. වසර තුනකට පසු 1959 මැයි මස 9 වැනි දින පාසල රජයට පවරාගෙන තිබෙනවා. ඇතැම් වකවානුවලදී ගුරු මණ්ඩලය දහසය දෙනකුගෙන් සමන්විත වී තිබෙනවා.

2010 වන විට ප්‍රමාණවත් ගුරු පිරිසක් පාසලේ නොසිටීම නිසා මවුපියන් දරුවන්ව පාසලෙන් අස් කරගෙන අවට පාසල්වලට ඇතුළත් කර තිබෙනවා. 2018 වර්ෂයේදී අන්තිමට සිටි ශිෂ්‍යයන් දෙදෙනත් අස්වී වෙනත් පාසලකට ගොස් තිබෙනවා.

2015 වර්ෂයේදී සිට පළමු වසරට ළමයි ඇතුළත් වී නැහැ. 2018 වර්ෂයේදී පාසලේ විදුහල්පතිවරයා ලෙස මාව පත්කළා. පාසල අවට පිහිටි ගම්මානවල ගෙයින් ගෙට ගොස් දරුවන් පාසලට එවන ලෙස මව්පියන්ගෙන් ඉල්ලීමක් කළා. නමුත් 2019 වසරේ පාසල අවට පදිංචි ළමයි 18 දෙනකු සහ 2020 වසරේ ළමයි 12 දෙනකු අල්පිටිය මහා විද්‍යාලයට ඇතුළත් කරගෙන තිබුණා. මෙම තත්ත්වය මත පාසල ඉබේම වැසෙන තත්ත්වයට පත්වෙලා. නමුත් මම තවම උත්සාහ කරන්නේ පාසල කෙසේ හෝ ළමයින් කිහිපදෙනකු හෝ සොයාගෙන පවත්වාගෙන යෑමටයි."

මේ පිළිබඳව බිබිල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශෙරීනා බෙගම් මහත්මියගෙන් කළ විමසුමකදී මෙසේ කීවාය.

"ඉහාව කනිෂ්ඨ විද්‍යාලය අනූව දශකයේ ඉතා හොඳ මට්ටමින් පැවැති පාසලක්. නමුත් වසරින් වසර ශිෂ්‍යයන් සඛ්‍යාව අඩු වුණා, දැනට එක ළමයෙක්වත් නැහැ.

පන්ති කාමර ගොඩනැගිලි දෙකක්, විද්‍යාගාරයක්, කාර්යාලයක් සහ ගුරු නිවාසයක් තිබෙනවා. පාසලේ තිබෙන උපකරණ අවට පාසල්වලට බෙදාදීලා. ඉඩම හා ගොඩනැගිලි පොදු කටයුත්තක් සඳහා යොදාගැනීමට මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දෙනවා."

-නඳුන් ගුණතිලක-