https://www.gossiplankanews.com/2019/09/mohomad-mubarak-body-rejected-by-relations.html
සුගිය අප්‍රේල් මස පාස්කු ප්‍රහාරාවලියේ කොළඹ කිංස්බරි හෝටලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාය. ජාතික තවුහිද්  ජමාද් සංවිධානයේ සාමාජිකයෙකු වන ඔහු මියයාමෙන් පසු කඳ කැබලිවලට විනාශවූවද
හිස ඉතිරිවිය. පසුගිය මාස 5 කට ආසන්න කාලයේ එම හිස කොටස තැන්පත් කර තිබී ඇත්තේ කොළඹ මෘත ශරීරාගාරයේය. එය භාර ගැනීමට ඥාතීන් කිසිවෙකු ඉදිරිපත්ව තිබුනේ නැත.
මේ නිසා බෝම්බකරුගේ හිස භාරගැනීමට ඥාතීන් ගෙන්වා අවස්ථා කිහිපයකදී අධිකරණය කරුණු විමසූ අතර ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් අවසානයේ එය භාර ගැනීම ප්‍රතික්ෂේප 

කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත්  රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.

එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු අවසන් වරට බෝම්බය සැලසුම් කරන වකවානුවේ කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ  නිවසක කුලියට පදිංචිව සිටියේය. එම කුලී නිවසට ලබාදී තිබුණ ලිපිනයේ දක්වා තිබුනේ කොළඹ 12 යෝන් වීදියේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු සමග එම නිවසේ සිටියේ කටුවාපිටිය දේවාස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් කස්තූන් සහ සයින්දු මරුදු ප්‍රහාරක පිරිසද සමගය.

කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවස අන්තර්ජාල වෙබ් අඩවියක පළ කර තිබුණු දැන්වීමකට අනුව ජාතික තව්හිත් ජමාල් සංවිධානයේ අරමුදල් යොදා මසකට රුපියල් 45000ක කුලියකට ඔවුන් කුලියට ගෙන ඇත්තේ වසරක කාලයකටය. මාස හයක අත්තිකාරමක් එකවර ගෙවමින් පසුගිය පෙබරවාරි මාසයේදී නිවස කුලියට ගෙන ඇති මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් පෙනී සිට ඇත්තේ කොළඹ පිටකොටුවේ පාවහන් වෙළද සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු ලෙසිනි.

අනෙක් ප්‍රහාරකයා කස්තූන් මහනුවර පැත්තේ පදිංචි තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු ලෙස රැකියාවක නිරත අයකු බව දන්වා ඇත.
නිවෙස් හිමියා කාන්තාවකි. ඇගේ පුතාත් දියණියත් සිටින්නේ විදෙස්ගතවය. නිවස කුලියට දෙන්නේ ඇය තනිවම ජීවත් වන බැවිනි. නිවසේ කුලී ගිවිසුම අස්සන් කරන්නේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ය. ප්‍රහාරකයන්ට නවාතැන් සපයාදීම පැවරී තිබී ඇත්තේ ඔහුටය.
නිවස කුලියට ගන්නා විට මුබාරක් නිවෙස් හිමි කාන්තාවට කල්තියාම දැනුම් දී ඇත්තේ සිය වෙ‍ළෙඳසලේ සේවකයන්ද එහි නතර වන බවය. ඒ අනුව එම නිවසේ කස්තූන් ඇතුළු පිරිමි තිදෙදෙනෙකුද කාන්තාවන් දෙදෙනෙකුද

ළමයින් දෙදෙනෙකුද නවාතැන් ගෙන සිටි අතර පසුව සයින්දමරුදුහිදී දෙවන බොම්බය පුපුරුවා ගන්නේ මෙම පිරිසේ සිටි අයයි.

විමර්ශනවලින් හෙළි වී තිබුනේ කටුවාපිටිය හා කිංස්බරි ප්‍රහාර දෙකේම  බෝම්බ සකස් කර ඇත්තේ එම නිවසේදී බවය. බෝම්බකරු කස්තූන් නවාතැන්ගෙන සිටි බව සඳහන් එම නිවස හඳුනාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිවස පරීක්ෂාවට ලක් කර ඒ බව තහවුරු කර ගෙන තිබුණි. නිවසේ තිබී හමුවන පුපුරන ද්‍රව්‍ය සුළු ප්‍රමාණයත්, යකඩබෝල, ඉලෙක්ට්‍රොනික් පරිපථ කොටස්, බැටරි, වයර් කැබලි, වැනි බෝම්බ සකස් කිරීමට යොදාගන්නා උපකරණ ඒ බව තහවුරු කෙළේය.

නිවසේ සිටි සියලුම දෙනා පසුගිය 18 වැනිදා නිවස අතහැර ගිය අතර ඊට දින දෙකකට පසු බොම්බකරුවන් දෙදෙනා පමණක් එහි පැමිණ ඇත්තේ 21 වැනිදා ප්‍රහාරයට සූදානමිනි.
කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් 2014 වසරේ සිට ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග සක්‍රීයව සබඳතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරික්ෂණ වලදී හෙළිව තිබුණි. මොහු ඇතුළු පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ රහසිගත කඳවුරක පුහුණුව ලබා ඇති බවද වාර්තා විය. මෙම කරුණු සියල්ල මුබාරක් සිය ඥාතීන්ගෙන් වසන් කර තිබුණි.

බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු මොහොමඩ් අසාඩ් මොහොමඩ් මුබාරක් නමැති අය බව ඔහුගේ මව,
මැඩිමහල් සහෝදරිය සහ සහෝදරිගේ ස්වාමිපුරුෂයා  හඳුනාගෙන තිබූ අතර ඔහුගේ දියණියගේ ඩීඑන්ඒ පරීක්සාවකින් අධිකරණය එය තහවුරු කර තිබුණි.
මුබාරක්ගේ බිරිය වන බසීර් සිද්දියාද තම සැමියාගේ සිරුරු කොටස් හඳුනාගැනීම වෙනුවෙන් පැමිණ ඒවා මුබාරක් බවට තහවුරු කර ගෙන තිබුණි. කෙසේ වෙතත් අවසානයේ බිරිය මෙන්ම ඥාතීන් එම සිරුරු කොටස ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔහුගේ හිස භාරගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි මීට පෙර අධිකරණයට දැනුම් දුන් රහස් පොලීසිය  අදාළ හිස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ  නියෝගයක් දෙන්නැයි මීට දින කිහිපයකට පෙර ඉල්ලා තිබුණි.
කරුණු සැලකිල්ලට ගනිමින් හිස බොරැල්ල කනත්තේ වළලන ලෙස අදාළ නියෝගය අද මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.
බොරැල්ල කනත්තේ භූමදාන කිරීම සඳහා ශරීර කොටස් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් වෙත මුදා හරින ලෙසද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මහේස්ත්‍රාත්වරයා එහිදි දන්වා සිටියේය.